කොන්ද පණ ඇති කොල්ලන්ට ඓතිහාසික ජයක්!

කොන්ද පණ ඇති කොල්ලන්ට ඓතිහාසික ජයක්!

පාකිස්ථානයට එරෙහිව පාකිස්ථානයේදී පන්දුවාර විස්සයි විස්ස තරඟාවලි ජයක් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමේ ඓතිහාසික අවස්ථාව තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන යොවුන් ක්‍රීඩකයන් අද (07) සමත්වූහ. පාකිස්ථානය සමග ලාහෝර් හීදී පැවති දෙවැනි පන්දුවාර විස්ස තරඟය ලකුණු 35කින් ජයගනිමින් තරඟාවලිය 2-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබිණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට තීරණය කර අතර පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 182ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එහිදී භානුක රාජපක්ෂ පන්දු 48කදී විශිෂ්ට ලකුණු 77ක ඉනිමක් දියත්කලේ හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින්ය. එසේම ශෙහාන් ජයසූරිය 34ක් සහ නායක දසුන් ශානක අවසන් පන්දුවාර කීපයේ වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් ලකුණු 27ක් නොදැවී ලබාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල පාකිස්ථානු කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් නැවත වතාවක් අසරණ කර දැමූ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩකයින් ලකුණු 52කට කඩුලු 5ක් බිඳදැමීමට සමත්විය. එහිදී වනිඳු හසරංග එක් පන්දුවාරයක් තුල කඩුලු 3ක් ලබාගැනීම විශේෂත්වයකි. හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ලකුණු 76ක සම්බන්ධතාවය ඉමාඩ් වසීම් ලකුණු 47කට දැවීයාමත් සමග බිඳවැටිනි. අවසානයේදී පාකිස්ථානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණකි.

නුවන් ප්‍රදීප් ලකුණු 25කට කඩුලු 4ක්, වනිදු හසරංග ලකුණු 38කට කඩුලු 3ක් සහ ඉසුරු උදාන ලකුණු 38කට කඩුලු 2ක් දවාලමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවත වෙත ගෙනයනු ලැබීය. ශ්‍රී ලංකා කන්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පාකිස්ථානයේ සංචාරය මගහරිද්දී වගකීම කරටගත් යොවුන් ක්‍රීඩකයන් ලොව අංක එකේ පාකිස්ථානු කණ්ඩායම ඔවුන්ගේ රටේදීම පරාජයට පත්කිරීම මෙන්ම තරඟාවලි ගණනාවක පරාජයකින් පසු ලංකාවට 2020 වසරේ ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියට බලාපොරොත්තුවක් එක්කිරීමට සමත්විය. එහෙත් මෙම යොවුන් ක්‍රීඩකයන් එම තරඟාවලියට තෝරාගනීද යන්න සැක සහිතය.