ලංකාවේ ලොකුම ක්‍රිකට් පිටිය හෝමාගමට - මැච් නැතිව පිට්ටනි මොකටද මහේල විමසයි

ලංකාවේ ලොකුම ක්‍රිකට් පිටිය හෝමාගමට - මැච් නැතිව පිට්ටනි මොකටද මහේල විමසයි

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් පිටිය හෝමාගම ප්‍රදේශයේදී ඉදිරිකිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව ආසන 40,000ක් සහිතව දිවා/රාත්‍රී තරඟ පහසුකම් සහිත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් හෝමාගම ආශ්‍රිතව ඉදිකිරීමට යෝජනා කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත.

අද (17) අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සමග මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට යෝජිත බිම්කඩ පරික්ෂා කිරීමද සිදුකර ඇත. එහිදී සභාපතිවරයා පවසා ඇත්තේ මෙම ක්‍රිකට් පිටිය කොළඹ දිස්ත්‍රික්කය තුල දිවා/රාත්‍රී තරඟ පැවැත්වීමේ පහසුකම් සහිත දෙවැනි ජාත්‍යන්තර පිටිය බවට පත්වනු ඇති බවය. 

ඇස්තමේන්තුව රුපියල් කෝටි 800ක්

මෙම යෝජිත ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදිකර අවසන් කිරීම සඳහා වසර 3ක් පමණ වැයවනු ඇතැයි අපේක්ෂිතය. එහි ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 30-40 අතර බවද සැලවේ. දියගම ප්‍රදේශයේ යෝජිත තොරතුරු තාක්ෂණ නගරය ආශ්‍රිත අක්කර 30ක පමණ භූමි ප්‍රදේශයෙක් මේ සඳහා වෙන්කර තිබේ.

මැච් නැතිව ග්‍රවුන්ඩ් මොකටද?

මෙම පුවත සැලවූ සැනින් එයට විශ්මය පලකරමින් සිය පුද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසා ඇත්තේ, දැනට ලංකාවේ ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවලට ප්‍රමාණවත් තරම් ජාත්‍යන්තර හෝ දේශීය තරඟ පවා නොමැති වටපිටාවක තවත් ජාත්‍යන්තර පිටියක් කොළඹ ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් විශ්මයට පත්වන බවත්, ඇත්ත වශයෙන්ම තවත් ක්‍රිකට් පිටියක් ලංකාවට අවශ්‍යද යන ගැටළුව තමන්ට ඇති බවය.

mahela

වේලෙන පිට්ටනි

මේ වනවිටත් විවිධ රාජ්‍ය නායකයන් යටතේ ශ්‍රී ලංකාව සතුව ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් ඇති ක්‍රිකට් පිටි ගණනාවක් තිබේ. කොළඹ ආර්.ප්‍රේමදාස පිටිය, කොළඹ එස්.එස්.සී පිටිය, බොරැල්ල පී.සරවනමුත්තු පිටිය, ගාල්ල ජාත්‍යන්තර පිටිය, සූරියවැව ජාත්‍යන්තර පිටිය, පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටිය, රංගිරි දඹුල්ල පිටිය මෙන්ම පුහුණු තරඟ සහ දේශීය තරඟ සඳහා භාවිතා කරන මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය, කටුනායක නිදහස් වෙළඳ කලාප පිටිය, කුරුණෑගල වෙළගෙදර පිටිය, මහනුවර අස්ගිරිය පිටිය වැනි ක්‍රීඩාංගන විශාල ප්‍රමාණයක් ඇති නමුත් වසරක් තුල ලංකාවේ පවත්වනු ලබන්නේ දළ වශයෙන් ටෙස්ට් තරඟ 5-10ත් අතර ප්‍රමාණයක් සහ එක්දින සහ විස්සයි විස්ස තරඟ 10-15ත් අතර ප්‍රමාණයක් පමණි. 

මෙවැනි ක්‍රීඩාපිටියක් නඩත්තු කිරීම සඳහා ඉතා විශාල මුදලක් වැයවන අතර, එම ක්‍රීඩාංගන එම වියදමෙන් ඉතා සුළු ප්‍රතිශතයක් හෝ උපයනු ලබන්නේ කලාතුරකින්ය. ඒ නිසා හුදෙක්ම තවත් ජාත්‍යන්තර පිටියක් ශ්‍රී ලංකාවට අවශ්‍යද යන්න විමසා බැලිය යුතුය.

කාගේ සල්ලිද?

බොහෝවිට මෙවැනි ක්‍රිකට් පිටි ඉදිකිරීම සඳහා ඉතා විශාල ණය මුදල් ලබාගන්නා අතර තවත් රටේ ණය බර වර්ධනය වනවා මිසක අඩුවන්නේ නැත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන වටපිටාවක මෙය තවත් ලෙඩක් දමාගැනීමට කරන උත්සහයක් බවට සැකයක් නැත. විශේෂයෙන්ම පසුගිය සමයේ ක්‍රිකට් තරඟ විකාශය සම්බන්ධයෙන් මූල්‍ය අක්‍රමිකතාවයක් නිසා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ඉහළම තනතුරක් දැරූ පුද්ගලයෙක්ට එරෙහිව අයි.සී.සී ය දැඩි පියවර ගැනීමට බලකරනු ලැබීය.

මෙවැනි පසුබිමක ජාත්‍යන්තර පිටි ගණනාවක් ලංකාවේ වේලෙමින් පවතින විට තවත් කෝටි සිය ගණනක් වැය කර ජාත්‍යන්තර පිටියක් අලුතින් ඉදිකිරී මගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට හෝ ප්‍රේක්ෂකයන්ට වන සුගතියක් පෙනෙන්නට නැත. මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති හරහා ගොඩයන්නේ ක්‍රිකට් නොව ඇතැම් දේශපාලනඥයන් සහ මුදලාලිලා බව රටේ ජනතාව නොදන්නවා නොවේය

ආසන්න වශයෙන් මෙරට ඉදිකල ක්‍රිකට් ක්‍රීඩාපිටි දෙක වන්නේ 2012 වර්ෂයේ ඉදිකර අවසන්වූ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටිය වන අතර ඒ සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 80 (රුපියල් කෝටි 1600) කට ආසන්න මුදලක් වැයවූ අතර මේ දක්වා එම ක්‍රීඩාපිටි දෙකේ පවත්වා ඇත්තේ ජාත්‍යන්තර තරඟ 40කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

Watch Now>> ලංකාවේ අපේ සිංහයන් ඉන්දියාවට දුවන්න ගහපු හොඳම ශතක 10 මෙතැනින් බලන්න (වීඩියෝ)