කොන්ද පණ ඇති කොල්ලෝ හෙට ‘පාකිස්ථානයට’ - ලක්ෂ ගණනින් සුබ පැතුම්

කොන්ද පණ ඇති කොල්ලෝ හෙට ‘පාකිස්ථානයට’ - ලක්ෂ ගණනින් සුබ පැතුම්

එක්දින තරඟ තුනකින් සහ විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත පාකිස්ථානු සංචාරය වෙනුවෙන් සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පාකිස්ථානය බලා පිටත්වීමට නියමිතය. එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකේම නිත්‍ය නායකයන් ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවට මත පලකරමින් තරඟාවලියට සහභාගීවීම ප්‍රතික්ෂේප කරන ලදි.

එවැනි වාතාවරණයකදී රටේ ගෞරවය මෙන්ම කණ්ඩායමේ ගෞරවයද ගැන සලකා බලා නොබියම තරඟාවලියට සහභාගීවීමට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් ගණනාවකින් සැදුම්ලත් කණ්ඩායම් දෙකක් පාකිස්ථාන සංචාරයට සහභාගීවනු ඇත. එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්න සහ විස්සයි විස්ස නායකත්වය දසුන් ශානක විසින් දරණු ඇත.

එක්දින කණ්ඩායමට ළහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් බිනුක, ඇන්ජෙලෝ පෙරේරා, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත සහ ළහිරු කුමාර එක්වන අතර විස්සයි විස්ස කණ්ඩායම සඳහා දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජෙලෝ පෙරේරා, බානුක රාජපක්ෂ, මිනෝද් බානුක, ළහිරු මධුශංඛ, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ ළහිරු කුමාර එක්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් නොබියව සංචාරය සඳහා ඉදිරිපත්වීමත් සමග පාකිස්ථානු ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවට සහ එහි ක්‍රීඩකයන්ට ලක්ෂ ගණනින් සුබපැතුම් එක්කරන අතරම තමන්ගේ රටට නැවතත් ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ලබාදීමට එක්වීම සම්බන්ධයෙන් ඔවුන් ඉතා සංවේදීව සටහන් තබා ඇත.

1996 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලාහෝර් පිටියේ අවසන් තරඟයට මුහුණ දෙන අවස්ථාවේ විශාල සිංහ කොඩි ප්‍රමාණයක් ලංකාවෙන් ගෙන්වාගෙන පාකිස්ථානු රජය සහ ප්‍රේක්ෂකයන් ඕස්ට්‍රේලියාවට එරෙහිව දකුණු ආසියාතික මිත්‍රයාට සහය දක්වනු ලැබීය.

එසේම පාස්කු දින ප්‍රහාරයෙන් අනතුරුව බංගලාදේශය, නවසීලන්තය වැනි කණ්ඩායම් ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ සැලසුම් කර ආකාරයෙන්ම මැයි මස පාකිස්ථානු යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් එම ක්‍රීඩකයින් සහභාගීකරවමින් එරට ක්‍රිකට් ආයතනය ලංකාවට විශාල සහයක් ලබාදුන්හ.

නමුත් විවිධ පුද්ගලික කාරණා සහ න්‍යාය පත්‍ර පදනම් කරගෙන ආරක්ෂාව පිළිබඳ පාර්ශව ගණනාවක් සහිතක ලබාදෙද්දීත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ගණනාවක් මෙම සංචාරය ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බරපතල කළු පැල්ලමකි. ලංකාවේ යුධ සමයේ විදේශ කණ්ඩායම් පැමිණීම ප්‍රතික්ෂේප කරද්දී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැණුනු වේදනාව පාකිස්ථානු ප්‍රේක්ෂකයින්ද වසර ගණනාවක් තිස්සේ විඳිමින් සිටිති.