වසර 10කට පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අදයි

වසර 10කට පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අදයි

පුද්ගලයන් අට දෙනකු මියගොස් ක්‍රීඩකයන් කිහිප දෙනකුට වෙඩි ප්‍රහාරවලින් තුවාල සිදුවූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 10කට පසුව ක්‍රිකට් තරගාවලියක් සඳහා මුල්වරට පාකිස්තානයට පය තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියේ පළමු තරගයට අදවේ. 

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භවන මේ තරගය දිවා - රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

පළමුව පැවැත්වෙන එක්දින තරග තුන කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී හා අනතුරුව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ අවසන් එක්දින තරගය පවත්වා ඇත්තේ 2009දී වන අතර එහිදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 129ක දැවැන්ත ජයක් හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා පිල මේ ක්‍රීඩාංගණයේ එක්දින තරග 11කට සහභාගීවී ඇති අතර එයින් තරග 5කින් ජය වාර්තා කොට ඇත.

මේ සංචාරයට එක්වන ශ්‍රී ලංකා පිලට, රාජ්‍ය නායකයකුට ලබාදෙන විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදෙන බව එරට ක්‍රිකට් ආයතනය හා ආරක්ෂක අංශ පොරොන්දුවී තිබියදී ටෙස්ට්, එක්දින නායක දිමුත් කරුණාරත්න, විස්සයි 20 නායක ලසිත් මාලිංග හා ඇන්ජලෝ ඇතුළු මුල්පෙළේ ක්‍රීඩකයන් තරඟාවලිය ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා සංචිතය

ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර.

පාකිස්තාන සංචිතය

සර්ෆරාස් අහමඩ් (නායක), බාබර් අසාම්, අබිඩ් අලී, ආසිෆ් අලි, ෆකාර් සමාන්, හැරිස් සොහෙල්, මොහොමඩ් හස්නයින්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඩ් අමීර්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, ශදාබ් ඛාන්, වහබ් රියාස්, උස්මාන් ෂින්වාරි.

More News