ඇමරිකන් තානාපති කාර්යාලයේ ලොක්කෙක් ගුවන් තොටුපල PCR පරීක්ෂාවක් නැතිවම රට ඇතුලට ගනියි

ඇමරිකන් තානාපති කාර්යාලයේ ලොක්කෙක් ගුවන් තොටුපල PCR පරීක්ෂාවක් නැතිවම රට ඇතුලට ගනියි

රජය විසින් ගුවන් තොටුපල හරහා මෙරටට එන සියළුම මගීන් තරාතිරම නොබලා PCR පරීක්ෂණයට යොමුකරන ලෙස ක්‍රමවේදයන් සකසා තිබියදී, අමාත්‍යංශ කිහිපයක අණ කිරීම යටතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියෙක් PCR පරික්ෂාවකින් තොරවම ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වේ.

මෙම නිලධාරියා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු විසින් ගුවන් තොටුපලේදී අනිවාර්යයෙන් සිදුකල යුතු PCR පරික්ෂණයට භාජනය වීම දැඩි සේ ප්‍රතික්ෂේප කර ඇති බවත් අනතුරුව තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ අමාත්‍යංශ කිහිපයකම අනුදැනුම යටතේ මෙරට කොරෝනා වැලැක්වීමේ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙම නිලධාරියාට රට තුලට පැමිණීමට ඉඩ ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුවන් තොටපුල සහ ගුවන් සේවා සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පවසා සිටියේ මෙරට කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා ක්‍රමවේදයන් සකස් කිරීමෙන් පසු මෙලෙස තානාපති සේවා නිලධාරියෙක් මෙරටට පැමිණ පළමු අවස්ථාව බවයි.

‘රට ඇතුලේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් දැඩි කලාට පස්සේ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඇති පුද්ගයෙක් ලංකාවට ඇතුල්වන්නේ පළවෙනි වතාවට. ඒ නිසා අපි එතනදි ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් දැනුවත් කලා. එහෙම කරනකල් ඒ තානාපති නිලධාරියා ගුවන් තොටුපලේ පැය හතරක් විතර රැඳිලා හිටියා’

කෙසේ වෙතත් අදාල තානාපති නිලධාරියා රැගෙන යාමට ඇමරිකානු තානාපති කාර්යාලයේ වාහනයක් පැමිණ ඇති අතර, ගුවන් තොටපුල නිලධාරීන් විසින් එම වාහනයේ පැමිණි ඇමරිකානු තානාපති කාර්යාලයේ තවත් සේවකයෙක්ට ඉතා හොඳින් උපදෙස් ලබාදී ඇත්තේ කටාර් හි සිට පැමිණි නිලධාරියා වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කල යුතු බවත්, තානාපති කාර්යාලයේදී පරික්ෂා කිරීම කළ යුතු බවත්, පසුව ස්වයං නිරෝධායනයේ පසුවි යුතු බවත් ය.

‘අපි කළ යුතු දේවල් අදාල නිලධාරීන්ට කිව්වා. තානාපති කාර්යාලවල පවා කොරෝනා මර්දන වැඩපිළිවෙලක් වෙනම ක්‍රියාත්මක වෙන නිසා ඔවුන් අදාල පියවර ගනීවි කියලා හිතනවා’ ගුවන් තොටුපල සභාපති වරයා එලෙස වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් තොටුපල සහ ගුවන් සේවා උප සභාපතිවරයාද මාධ්‍යට සඳහන් කර ඇත්තේ අදාල නිලධාරියා විසින් පී.සී.ආර් පරීක්ෂණයට භාජනයවීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව සහ තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තභාවය සම්බන්ධයෙන් දිගින් දිගටම වාද කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ තම සියළුම තානාපති නියෝජිතයන් ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වසංගතය මැඩලීමේ ක්‍රියාපිළිවෙත්වලට අනුගතවන බවත්, වියානා සම්මුතිය අනුව තානාපති නිලධාරීන්ට හිමි රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද යටතේ පමණක් තම තානාපති නිලධාරියා කටයුතු කර ඇති බවය. ශ්‍රී ලංකාවේ තානාපති නිලධාරියෙක්ටද ඇමරිකාව තුලදී එලෙසම පහසුකම් ලැබෙනු ඇතැයි ප්‍රකාශ කර ඇත.

මෙහි බරපතලම තත්වය වන්නේ ඉදිරියට තවත් තානාපති නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් කොරෝනා අධි අවදානම් රටවල සිට පැමිණේවිද යන කරුණ සහ එසේ පැමිණියහොත් අනිවාර්ය පී.සී.ආර් පරික්ෂාව සහ නිරෝධායනය පහසුවෙන්ම මගහැර රටතුලට පැමිණීමට ඔවුන්ට අවස්ථාව ඇතිවීමය.

අදාල ඇමරිකානු තානාපති නිළධාරියා පැමිණ ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට වන අතර, මේ වනවිට කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් 83,000 කට වැඩි පිරිසක් වාර්තා වේ. අරාබි රටවල් අතර තුන්වැනි තැනට කොරෝනා අධි අවදානම් රට වන්නේද කටාර් රාජයයි. ඒ නිසා එම රටතුල සිට පැමිණි පුද්ගලයෙක් පී.සී.ආර් පරීක්ෂණයකින් හෝ නිරෝධායනයකට යොමු කිරීමකින් තොරව රටතුලට ගැනිම ඉතා අවදානම්සහගත පියවරකි.

ශ්‍රී ලංකා රජය ජනාධිපතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය අංශවලට සහ ගුවන් තොටුපල බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ලංකාව තුලට ගුවන් තොටුපල හරහා පැමිණෙන ඕනෑම පුද්ගලයෙක්ට එම ස්ථානයේදීම පී.සී.ආර් පරික්ෂාවක් සිදුකර එහි ප්‍රතිඵල මත රෝහල්ගත කිරීම හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සිදුකරන ලෙසය. එයට හේතුව වී ඇත්තේ විදේශ ගතව සිට ලංකාවට පැමිණෙන පිරිස අතරින් කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වීමය.

අදාල ක්‍රියාමාර්ග සියල්ල උල්ලංඝනය කරමින් තානාපති නිලධාරියෙක් මෙරට තුලට ගැනීමට පැය ගණනාවක් කාලයක් වැය කිරීම වෙනුවට ඊටත් වඩා අඩු කාලයකින් පී.සී.ආර් පරික්ෂාව සිදුකර ප්‍රතිඵලය ලබාගැනීමට ඉඩකඩ තිබීම නිසා මෙය දැඩිසේ අවධානය යොමුකල යුතු සිදුවීමක් බවට සැකයක් නැත.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල සංසර්ණය වන අදහස් අනුව ලංකාවේ කොරෝනා මර්ධන නීති සාමාන්‍ය මිනිහාට බරපතල බවත්, ලොක්කන්ට නැවෙන නීති බවත් කියා පෑම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත.