නව සන්ධානයට කැමැත්ත ලබා ගන්න එජාප මන්ත්‍රිවරුන් අද කොළඹට

නව සන්ධානයට කැමැත්ත ලබා ගන්න එජාප මන්ත්‍රිවරුන් අද කොළඹට

'සමගි ජන බලවේගය' නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(14) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවා තිබේ.

නව සන්ධානය සඳහා එකඟතාව ලබා ගැනීමේ අරමුණින් එම කැඳවීම සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය 'සමගි ජනබලවේගය' නමින් පක්ෂයක් පිහිටුවා ඇති අතර එම නව සන්ධානය 'හදවත' ලකුණින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා තීරණය කර තිබුණ ද ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතර සාමාජිකයින් එකඟ වූයේ නොමැත.

කෘත්‍යාධිකාරී මණ්ඩලය අලියා ලකුණින් තරග කිරීමට තීන්දු කිරීමත් සමඟ සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් පසුගිය 12 දා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළේය.

එම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එහිදී නව සන්ධානය සඳහා අලියා ලකුණ ඉල්ලා සිටිය ද ඊට රනිල් වික්‍රමසිංහ එකඟ වී නොමැත.

කෙසේ වෙතත් මේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වයේ පිරිස් විපක්ෂ නායක කාර්යාලයේදීත්, රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයේ පිරිස් සිරිකොතහිදීත් මාධ්‍ය හමු පවත්වා කරුණු පැහැදිලි කළේය.