රනිල්ගේ බාලගිරි දෝෂය දිගටම - එ.ජා.ප යේ අපේක්ෂකයා ‘කරූ’?

රනිල්ගේ බාලගිරි දෝෂය දිගටම - එ.ජා.ප යේ අපේක්ෂකයා ‘කරූ’?

මහා වියවුලක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා තේරීමේ ක්‍රියාවලිය අවුලෙන් අවුලට පත්කරමින් තවදුරටත් එම තීරණය ප්‍රමාද කිරීමට එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම තීරණය කර තිබේ.

මින් පෙර එ.ජා.ප මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ නියත වශයෙන්ම එ.ජා.ප යේ අපේක්ෂකයා එළඹෙන බදාදා දින (25) ප්‍රකාශයට පත්කරන බවයි. එහෙත් එ.ජා.ප ආරංචි මාර්ග සඳහන් කරන්නේ එය බදාදා ප්‍රකාශයට පත්නොවන බවත්, බොහෝවිට බ්‍රහස්පතින්දා දින අපේක්ෂකයා තේරීම සඳහා වන රහස් ඡන්දය පැවැත්වෙනු ඇති බවයි.

අපේක්ෂකයා තේරීම සඳහා වන එ.ජා.ප නියෝජිතයන් අතර ඡන්දයක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූයේ සජිත් පාර්ශවයෙන් වන අතර පසුව එය එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් අතරේ රහස් ඡන්දයක් පැවැත්වීමට යෝජනා කරනු ලැබුවේ ඇමති පාඨලී චම්පික රණවකය.

එහෙත් මේ යෝජනාවට රනිල් වික්‍රමසිංහ අකමැත්ත ප්‍රකාශ කර තිබූ නමුත් පසුව ඔහු විසින් එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතෙන් තමන්ට හිතවත් සාමාජිකයන් 30 දෙනෙක් පත්කිරීමේ උත්සහය සමගම රහස් ඡන්දයකට කැමැත්ත පළකර තිබිණි. නමුත් මේ වනතෙක් එලෙස නව සාමාජිකයන් පත්කර ඇති බවට වාර්තා වී නැත.

ඊයේ පැවති සාකච්ඡා අවස්ථාවේදී පවා සජිත් ප්‍රේමදාස පිළිබඳ මාතෘකා හැකිතාක් මතුනොකිරීමට රනිල් හිතමිතුරු කල්ලිය උත්සහ දරා ඇති අතර කරූ ජයසූරියගේ අපේක්ෂකතවය පිළීබඳව දිගින් දිගටම ඉස්මතු කිරීමට කටයුතු කර ඇත. එසේම රනිල් හිතවාදීව කටයුතු කරන කලක් රනිල් වික්‍රමසිංහට දැඩිසේ පහරදුන් ලංකාවේ වසර ගණනක් පැරණි විකල්ප වෙබ් අඩවියක් මේ මොහොතේ කරූ අපේක්ෂකයා කිරීමට සඳහා දැඩි උත්සහයක නිරත වෙමින් සිටියි.

එවැනි තත්වයක් යටතේ ඊයේ පැවති සාකච්ඡා කීපයකදී එකඟතාවයකට පැමිණ ඇත්තේ එළඹෙන බ්‍රහස්පතින්දා එකී රහස් ඡන්දය පවත්වා අපේක්ෂකයා තෝරාගැනීමට ය. නාම යෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මේ වනවිටත් අපේක්ෂකයන් ගණනාවක් විසින් සිදුකර ඇති වාතාවරණයක එ.ජා.ප ය මේසේ කඹ ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස පාක්ෂිකයන් දැඩිසේ නොසන්සුන්තාවයකට සහ පක්ෂය සම්බන්ධයෙන් දැඩි කළකිරීම්වලට හේතුවිය හැකි බවද එ.ජා.ප මන්ත්‍රීවරුන් ගණනාවක් පක්ෂ නායක රනිල්ට දැනුම් දී තිබේ.

More News