උදයංග වීරතුංග, මිග් යානා සහ ලසන්ත

උදයංග වීරතුංග, මිග් යානා සහ ලසන්ත

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග අද හෙටම යළි දිවයිනට පැමිණීමට නියමිතබව theleader.lk වෙබි අඩවිය මගින් ඊයේ (13) වාර්තා කර තිබිණි.

මෙරට පැවැත්වෙන අධිකරණ ක්‍රියාමාර්ගයක සැකකරුවකු ලෙස ඔහුව නම් කර ඇති බැවින් ඔහුව ශ්‍රී ලංකාවට ලබා දෙන්නැයි පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

එහෙත්, නව රජය බලයට පත්වූ පසුව මේ මොහොතේ ඔහුව මෙරටට අනවශ්‍ය බව දන්වා එරටට ලිඛිතව දැනුම් දීමට සැලසුම් කර තිබුන ද එවැනි ඉල්ලීමක් නොකරන්නැයි ආණ්ඩුවේ ඉහලම බලධාරියෙක් දැඩිව පවසා තිබු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

තමාට එරෙහි චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග, ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වනු ලබන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.

මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට දයංග වීරතුංගට චෝදනා එල්ලවී ඇත.

මිග් යානා ගණදෙනුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ මරා දැමුණු sunday leader කතෘ ලසන්ත වික්‍රමතුංග සිය පුවත්පතේ ප්‍රථම වරට අනාවරණය කළේය.

එපමණක් නොව එවකට රජයේ විවිධ අයතා ගණදෙනු සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග දිගින් දිගටම අනාවරණය කලේය. ඔහු 2007 ජුලි මාසයේදී සිය පුවත්පතේ මිග් යානා ගණදෙනුව සමබන්ධයෙන් දිගු අනාවරණයක් කළේය.

එංගලන්තයේ ලියාපදිංචි කොට ඇති ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ නමින් සමාගමක් නොමැති බවත්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමග ඇති කර ගත් ගිවිසුමේ සඳහන් ලිපිනය සහ ෆැක්ස් අංකය, භාණ්ඩ ප‍්‍රවාහනය කෙරෙන වෙනත් සමාගමක එකක් බවත් ඒ මගින් හෙලිදරව් කරන ලදි.

ලසන්ත වික‍්‍රමතුංගගේ මේ නිරාවරණයෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයත්, විශේෂයෙන් එහි ලේකම් ගෝඨාභය රාජපක්ෂත්, මිග් ගනුදෙනුවේ සුජාත භාවය වෙනුවෙන් කරුණු කීමට ඉදිරිපත් විය. තමන් මිල දී ගත් ගුවන් යානා, 2000 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන කාලයේ මිල දී ගත් ගුවන් යානාවලට වඩා වැඩි ආයු කාලයක් ඇති ඒවා බව එහිදී ඔවුහූ කියා සිටිය බවට තොරතුරු පළවිය.

එසේම, මේ ගනුදෙනුව සඳහා ආණ්ඩු දෙකක් හැරුණු කොට තුන්වැනි පාර්ශ්වයක් නොසිටි බවත් කියා සිටියහ. තව ද, මේ ගනුදෙනුව ගැන තමා කිසිවක් නොදන්නා බවත්, තමාගේ කිසි සම්බන්ධයක් ඊට නැති බවත් එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් කියා සිටියේය.

ඉන් පසු 2007 සැප්තැම්බර් මාසයේදි ලසන්ත වික‍්‍රමතුංග ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත හරහා නැවතත් සටන පටන් ගත්තේය. එහිදී ඊට කලින් පුවත්පත් වාර්තාවේ පැවති හිස් තැන් කිහිපයක් ද ඔහු පිරෙව්වේය. 2006 පෙබරවාරි 6 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති රැස්වීමේ මූලාසනයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ බව එහිදී ඔහු සිය පුවත්පත හරහා පෙන්වා දුනි.

මිග් යානා ගනුදෙනුව පටන් ගත්තේ ඒ රැස්වීමෙන් පසුව ය. ඊට උදයංග වීරතුංගත් සහභාගී විය. ඒ වන විට ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රුසියාවේ සහ යුක්රේනයේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් පත්කොට තිබුණි.

කෙසේවෙතත් එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමාට සිදුවූ අපහාසයට රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ගල්කිස්ස දිස්ත‍්‍රික් අධිකරණයේ නඩු පවරන බවට ලසන්ත වික‍්‍රමතුංගට පවසා තිබුණු බවත් ඊට ලසන්ත වික‍්‍රමතුංගගේ ප‍්‍රතිචාරය වුණේ, එසේ වුවහොත්, තමාට කරන ලද අපහාසයට ආරක්ෂක ලේකම්වරයාගෙන් රුපියල් බිලියන දෙකක වන්දි ඉල්ලා නඩු පවරන බවයි.

රාජපක්ෂගෙන් එවැනි වැඩි වන්දියක් ඉල්ලා නඩු පැවරීමට අදහස් කරන හේතුව ලසන්තගේ නීතිඥවරයා ගෝඨාභයගේ නීතිඥයාවරයාට ලියා දන්වා සිටියේ මෙසේ ය: ‘‘මගේ සේවාදායකයා ඔබේ සේවාදායකයාගෙන් වැඩි වන්දියක් ඉල්ලා සිටීමට හේතු වන්නේ, මගේ සේවාදායකයා එක දිගටම මේ රටේ රැඳී සිටිමින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන අතරේ ඔබේ සේවාදායකයා මේ රට අතහැර ගොස් ඇමරිකාවේ පුරවැසිය භාවය ලබාගෙන එරටට දේශප්‍රේමීව සිටින බවට දිව්රුම් දුන් පුද්ගලයෙකුත් වන නිසා ය.’’ අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පතට එරෙහිව අපහාසයට වන්දි ඉල්ලා නඩු පැවරීය.

මේ නඩුව විභාගයට ගැනීමට ටික දිනකට පෙරාතුව ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කෙරුණි.