'පී.බී ජයසුන්දරට පඩි 03 ක් ලැබෙනවා - ඒත් රජයේ සේවකයන්ගේ වැටුපෙන් භාගයක් ඉල්ලනවා' - පාඨලී

'පී.බී ජයසුන්දරට පඩි 03 ක් ලැබෙනවා - ඒත් රජයේ සේවකයන්ගේ වැටුපෙන් භාගයක් ඉල්ලනවා' - පාඨලී

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුපෙන් අඩක් නැවත රජයට ලබාදෙන ලෙස ඉල්ලා සිටියත්, ඔහු වැටුප් තුනක් දැනටමත් ලබන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසා තිබේ.

රාජ්‍ය කළමණාකරණයේ ඇති අසමත්භාවය හේතුවෙන් මුල් කාර්තුවේ රජයේ ආදායම මෙන් තුන් ගුණයක මුදලක් රජය විසින් වියදම් කර ඇති බවද හෙතෙමෙ වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ වනවිට ස්වයං රැකියාවල නියුක්ත පුද්ගලයන්ගේ ආදායම් මාර්ග සියල්ල අහිමිවී ඇති බවත්, පුද්ගලික අංශයේ ඇතැම් පිරිසකට රැකියා අහිමිවී ඇති අතර තවත් පිරිසකගේ පඩි කප්පාදුවක් සිදුව ඇති බවද ඔහු සඳහන්කරයි.

පසුගිය රජය විසින් රාජ්‍ය සේවකයන් වෙත ලබාදුන් වැටුප් වර්ධකද මේ වනවිට රජය විසින් කප්පාදුවට ලක්කර ඇති අතර, කූඨ මාධ්‍ය සංදර්ශන වලින් ජනතාව රවටමින් රජය මෙකී සියලුම කප්පාදුවලට සිය අනුමැතිය ලබාදී ඇති බවද හෙතෙම පවසයි.

මහ බැංකුවේ විධායක නිලධාරියෙක් ලෙස ලබන විශ්‍රාම වැටුපත්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයෙක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ලබන විශ්‍රාම වැටුපත්, ජනාධිපති ලේකම් වරයා ලෙස ලබන වැටුපත් යන වැටුප් තුනම පී.බී.ජයසුන්දර විසින් ලබන නමුත් සියලුම රාජ්‍ය සේවකයන්ට එලෙස වැටුප් කිහිපයක් නොලැබෙන නිසා වැටුපෙන් අඩක් ප්‍රදානය කිරීම රජය සිතන ආකාරයෙන් පහසු නැති බවද සඳහන් කරයි.

අද රට දැඩි ආර්ථික අර්බුදයකට වැටී ඇති නිසා රජයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප හෝ ගෙවාගත නොහැකි තත්වයක් යටතේ එය වසන් කිරීමට මෙලෙස විවිධ ප්‍රකාශ කරන තැනට රජය පත්ව ඇති බවද හිටපු ඇමතිවරයා වැටඩිදුරටත් පවසා ඇත.

දශකයකට වැඩි කාලයක් පුරා මිග් යානා ගණුදෙනුව, ඇවන්ගාර්ඩ් ගනුදෙනුව, හම්බන්තොට වරාය, කොළඹ ඉඩම් විකිණීම් වැනි ඒවායින් රාජපක්ෂ පවුල සහ ගජමිතුරු කල්ලිය උපයාගනු ලැබූ මුදල් නැවතත් රටට ලබාදෙන්නේනම් වැඩකරන ජනතාව තමන්ගේ වැටුපෙන් අඩක් රජයට ලබාදීම සම්බන්ධයෙන් සලකා බලනු ඇතැයි ඔහු පැවසීය.