ශ්‍රීලනිපයේ සහාය සජිත්ට : තීරණය අද..?

ශ්‍රීලනිපයේ සහාය සජිත්ට : තීරණය අද..?

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ ස්ථාවරය සම්බන්ධයෙන් කතිකා කිරීමට මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයා විසින් ඊයේ (06) රාත්‍රීයේ ද කැඳවා තිබුණද කිසිඳු එකඟතාවයකින් තොරව එය නිමා වී තිබේ.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝටාබය රාජපක්ෂට සහය දක්වන්නේ ද නැද්ද ? යන්න සාකච්ඡා කොට ඇති අතර එය උණුසුම්කාරී මත ගැටුමක් බවට පවත්ව ඇත.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල හා රන්ජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරුන් ගෝටාබයට සහය දැක්විය යුතු බවට අදහස් දක්වා ඇති අතර ශ්‍රීලනිප ආසන සංවිධායකයින් බහුතරයකගේ අදහස වී ඇත්තේ මම නම් පොහොට්ටු වේදිකාවට නගින්නේ නැහැ'' යන්නයි.

එමෙන්ම ගෝටාබය රාජපක්ෂට සහාය දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පොහොට්ටුවට එක්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී, විනාශවී යන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

කෙසේවෙතත් දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුමත කරමින් අදහස් දක්වා ඇති අතර එහිදී තිලංග සුමතිපාල හා ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇත.

කෙසේවුවද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද (07) පෙරවරුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.