ජනාධිපති නිර්පාක්ෂිකයි : ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් අද ගෝඨාගේ වේදිකාවට

ජනාධිපති නිර්පාක්ෂිකයි : ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් අද ගෝඨාගේ වේදිකාවට

මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය තුළ එනම්, ඊයේ(08) සිට නොවැම්බර් 18 දා දක්වා ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර තිබේ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඇතැමුන් මර බිය නිසාත්, තවත් පිරිසක් තනතුරු හා වරප්‍රසාද බලාපොරොත්තුවෙන් යුතුවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩවීමට තීරණය කල ද, ජනාධිපතිවරයා '' කිසිඳු ආකාරයකින් ඊට සහය නොදීමේ ස්ථාවරයකට එළඹ ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ ජනාධිපති මැතිවරණ කාල සීමා සඳහා අදාළව එම පත්කිරීම සිදුකරන ලද බවයි.

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහය දෙන්නේද ? නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වල දී උණුසුම් වාද විවාද ඇතිවූ අතර සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, තිලංග සුමතිපාල වැනි මන්ත්‍රීවරුන් පොහොට්ටුවට එක්විය යුතු බවට දැඩි ස්ථාවරයක සිට කටයුතු කළේය.

කෙසේවුවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරගේ නිවසේ ඊයේ(08) පැවති සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සියලුදෙනා අද(09) අනුරාධපුරයේ පැවැත්වෙන ගෝටාබය රාජපක්ෂගේ පළමු රැලියට එක්වීමට නියමිතය.