ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ මනාප නැතිකරන්න පොහොට්ටුවෙන් සැලැස්මක්.!

ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ මනාප නැතිකරන්න පොහොට්ටුවෙන් සැලැස්මක්.!

මෙවර මනාප භාවිතා කිරීමේදී ‌පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් අතීත සිද්ධීන් මතකයේ තබාගෙන මනාප පාවිච්චි කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඒ ඊ‌යේ (11) විජේරාම මාවතේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසේ පැවති පොදුජන පෙරමුණේ නාමයෝජනාවලට අත්සන් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින්ය.

එසේම තමන් ඇතුළු පිරිසක් හිරේ දැමූ අතීතය මෙන්ම මහින්ද රාජපක්ෂ සමඟ හිටියේ කවුද යන්න ජන්දදායකයන් දැනුවත් බවත් ඔහු පැවසීය.

මීට සමාන ප්‍රකාශයක් පසුගියදා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ විසින්ද සිදුකරනු ලැබිණ.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ එළඹෙන මහ මැතිවරණයේ දී පොදුජන පෙරමුණ පාක්ෂිකයන් මනාප ලබාදීමේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට පමණක් මනාප ලබාදිය යුතු බවය. නැතිනම් 2015 දී ඇතිවූ වැනිම තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ‌පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ජාවක් අද (12) සවස 4ට පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊට අනුව මෙම සාකච්ජාවේදී ශ්‍රීලනිපයට ලබා දිය හැකි නාමයෝජනා ප්‍රතිශතය සම්බන්ධයෙන් අවසන් වශයෙන් තීරණයකට එළඹීමට නියමිතව ඇත.

මේ වනවිට ශ්‍රීලනිපය එළඹී ඇති ගිවිසුම්වලට අනුව 30%ක ප්‍රතිශතයක් නාමයෝජනාවලින් ඉල්ලා සිටින නමුත් ‌පොහොට්ටුව දැනුම් දී ඇත්තේ එපමණ ප්‍රමාණයක් ලබා දිය ‌නොහැකි බවය.

කෙසේවුවද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ මෙම ප්‍රකාශ පොදුජන පෙරමුණ ලැයිස්තුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට දැඩිව බලපානු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් සැලසුම් සහගත ලෙස පරාජය කරවීමේ සැලැස්මක් ඇති බව මේ ප්‍රකාශ හරහා හොඳින් පැහැදිලි වන බවද දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි

සබැඳි පුවත් 

ශ්‍රීලනිපයට මනාප දෙන්න එපා : චමල් ප්‍රසිද්ධියේ කියයි !