බිඳුණු හදවත් එක් කරන සජිත්ගේ අලුත්ම බලවේගය

බිඳුණු හදවත් එක් කරන සජිත්ගේ අලුත්ම බලවේගය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය, 'සමගි ජාතික බලවේගය' ලෙස නම් කර ඇති අතර එහි ඡන්ද ලකුණ ලෙස 'හදවත' තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම පක්ෂය ලියාපදිංචි කිරීමට අදාල ලියකියවිලි අද (10) පෙරවරුවේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දී ඇතැයි ද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳත් එම සන්ධානයේ ලේකම් කව්රුන්ද යන්න පිළිබඳවත් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් 'සිරිකොත' එජාප මූලස්ථානයේ දී අද(10) පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ඉතා තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) දින පැවැත්වීමට නියමිතව තිබියදී මීට සුලු ‌මොහොතකට ‌පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ වහාම තමන්ට හමුවී සාකච්ජා කළ යුතු බවට විශේෂ පණිවුඩයක් මගින් දැනුම් දී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව තව සුලු ‌මොහොතකින් සජිත් ‌ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ යන අතර මුහුණට මුහුණ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත අතර ඊට ‌ප්‍රේමදාසගේ පාර්ශ්වය නියෝජනය කරමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද සහභාගී වීමට නියමිතය.

මේ අතර අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමට ප්‍රථම ඊ‌යේ (09) රාත්‍රියේදී වික්‍රමසිංහගේ පාර්ශ්වයත්, ‌ප්‍රේමදාසගේ පාර්ශ්වයත් ‌වෙනවනම රැස්ව ඒ සම්බන්ධයෙන් සාකච්ජා ‌කොට ඇති බව දැනගන්නට තිබේ.