අති දුර්ලභ කළු කොටියා උඩවලවේදී මියයයි!

අති දුර්ලභ කළු කොටියා උඩවලවේදී මියයයි!

ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ සත්ව විශේෂයක් වන 'කළු කොටියා' හෙවත් Panthera Pardus Kotiya වර්ගයට අයත් සත්වයෙක් පසුගියදා නල්ලතන්නිය ප්‍රදේශයේදී උගුලකට හසුව තිබියදී බේරාගන්නා ලද අතර, ප්‍රතිකාර ලබමින් සිටි එම සත්වය උඩවලව වනජීවී රෝහලේදී අද(29) මියගොස් තිබේ. එම සත්වයා සොයාගනු ලැබුවේ පසුගිය 26 වැනිදා වන අතර ඒ වනවිටත් පැය ගණනාවක් එම සත්වයා උගුලට අසුවී දැඩි වේදනාවෙන් පසුව තිබේ.

මීට සති කිහිපයකට පෙරද මස්කෙලිය ප්‍රදේශයේදී මෙලෙස තුවාල ලද දිවියෙක් සොයාගත් අතර එම සත්වයාද වැඩිදුර ප්‍රතිකාර ලබන අතරතුරදී ජීවිතක්ෂයට පත්විය. කළු කොටියාද සොයාගන්නා ලද අවස්ථාවේ දැඩි ලෙස තුවාල ලබා තිබුණු අතර, එයට හේතුව එම සත්වයා උගුලෙන් ගැලවීමට උත්සහ දැරීම හේතුවෙන් ය. තුවාල දිගින් දිගටම සුව නොවීම හේතුවෙන් මෙම කළු කොටියා මියගිය බව උඩවලව වනජීවී රෝහල ප්‍රකාශ කර ඇත.

කාලයක් මුළුල්ලේම ලංකාවේ වඳවීමේ තර්ජනයට දැඩිලෙස මුහුණදෙමින් සිටින සත්ව ප්‍රභේදයක් වන දිවියන් අතරට අයත් කළු කොටියා ඉතාම දුර්ලභ සත්වයෙක් වන අතර 2012 රතු දත්ත පොතේද මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආකාරය සඳහන් කර ඇත. මීට අමතරව හඳුන් දිවියා, වල් බළලා සහ කොළ දිවියාද වඳවීයාමේ තර්ජනයට මුහුණදී සිටිති. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වල් ඌරන්, මුවන්, ගෝනුන් වැනි සතුන් ඉලක්ක කරගෙන අටවනු ලබන උගුල් වලට එම සතුන් ගොදුරු කරගැනීමට පසුපසින් පැමිණෙන දිවියන් ගොදුරු වීම නිසාය.

ලංකාවෙන් කළු කොටියා සම්පූර්ණයෙන්ම වඳවී ඇති බවට වාර්තා වී තිබුණද පසුගියදා වනජීවී කැමරාවකට හසුව තිබූ දර්ශන පෙළක කළු කොටියෙකුගේ දර්ශන ඇතුලත්ව තිබිණි. එම ස්ථානය පිහිටා ඇත්තේද මියගිය කළු කොටියා සොයාගන්නා ලද ස්ථානයට කිලෝමීටර් කිහිපයක් නුදුරින් වීම නිසා ඒ මියගිය කළු කොටියා වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවට සැලවේ.

Watch Now >> තට්ටය පෑදෙන්න යනවාද? විසඳුම පේර කොල ෂැම්පු (වීඩියෝ)