රන්ජන් අත්අඩංගුවට! 'කලින්ම දැනගෙන හිටියා' රන්ජන් කියයි

රන්ජන් අත්අඩංගුවට! 'කලින්ම දැනගෙන හිටියා' රන්ජන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක අද(04) සවස මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකිර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අධිකරණ නියෝගයක් මත සිදුකරන ලද පොලිස් සෝදිසි කිරීමක් අතරතුරදී ය.

අද සවස 25 දෙනෙක්ගෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායමක් හදිසියේම මාදිවෙල නිවාස සංකීර්ණයේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නේවාසිකව සිටින නිවසට පැමිණ සෝදිසි කිරීමේ වරෙන්තුවක් ඉදිරිපත්කර ඇති අතර එහිදී එසේ සෝදිසි කිරීමට හේතුව මන්ත්‍රීවරයා විමසා සිටි අවස්ථාවේ සඳහන් කර ඇත්තේ බුද්ධි අංශ නිලධාරීන් සමග සිදුකරන ලද රහසිගත දුරකතන සංවාදවල පටිගතකරන ලද තොරතුරු ඇතිබවට වාර්තාවීම නිසා ඒවා සොයා සෝදිසි කරන බවය.

අදාල අවස්ථාවේ නිවෙස සෝදිසි කිරීමේදී තොරතුරු අඩංගු සී.ඩී තැටි කිහිපයක්, ලිපිගොනු කිහිපයක් පමණක් සොයාගත් අතර ඒවා මන්ත්‍රීවරයා විසින්ම ඉදිරිපත්කරන ලද ඒවාය. ඒ අතරවාරයේදී මන්ත්‍රීවරයාගේ නිළ පිස්තෝලය මෑතකදී ලියාපදිංචි කර නොමැති බව ප්‍රකාශ කරමින් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. මෙහිදී මන්ත්‍රීවරයා විසින් අදාල පිස්තෝලයේ ලියාපදිංචි කිරීම් ගැන සොයාබලන්නේ මන්ත්‍රී ආරක්ෂක අංශය මිස තමන් නොවන බව ප්‍රකාශ කර තිබුණද ලියාපදිංචි නොකල පිස්තෝලයක් ලඟ තබාගැනීමේ වරදට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

'මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි, මම ඇත්ත කතාකරද්දි, කෙලින් දේවල් හෙලිකරද්දි මම දැනගෙන හිටියා මෙහෙම කරනවා කියලා..අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා..මම ජනතාවට පොරොන්දු වෙනවා මට කිසි ලෙඩක් නෑ, ඒක නිසා මම රෝහලටවත් වෙන කොහේවත් හැංගෙන්නවත් යන්නේ නෑ, මම හිරගෙදරට යනවා.."

අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාව වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම සහ මුජිබර් රහුමාන්ද එම ස්ථානයේ විය. නව රජය පත්වීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ විපක්ෂයේ තුන්වැනි මන්ත්‍රීවරයා වන්නේ රන්ජන් ය.