ප්ලොට් ටෙලෝ සහාය සජිත්ට...!

ප්ලොට් ටෙලෝ සහාය සජිත්ට...!

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වූ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අ‌ඩෛක්කලනාදන් හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලින්ගම් සිද්ධාර්ථන් පෙරේදා (04) අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී කරන ලද සාකච්ඡාවකින් පසු ඔවුන්ද සජිත් ‌ප්‍රේමදාස ට සහාය ‌දීමට තීරණය කරන ලදැයි වාර්තා ‌වේ.

මේ හමුව අගමැතිවරයා විසින් කැඳවා තිබුනේ ජනාධීපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එම සංවිධානවල සහය ලබා ගැනීම සඳහාය.

ජාතික ප්‍රශ්නයට විසඳුම් පිළිබඳ එජාපයේ නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර අගමැතිවරයා මෙහිදී සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත්කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සවිස්තරාත්මකව පැහැදිලිකර ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු එම නායකයන් දෙපළ සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීරණට කර ඇති බවත් එම තීරණය ඉදිරි දින දෙක ඇතුළත නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවත් පැවසේ.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ඊයේ (05) දින පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම අප සියල්ලන්ගේම අපේක්‍ෂාව බවත් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සෑම ජාතියකගේම එකමුතුවෙන් හා එකඟත්වයෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන යාම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්තිය බවයි.

මෙවන් පොදු එකඟතාවකින් යුතුව ශ්‍රී ලංකාව අනාගතය වෙත රැගෙන යාම සඳහාත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ආරක්‍ෂා කර ගැනීම සඳහාත් ලබන නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස බලයට පත් කර ගන්නා ලෙස අගමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

More News