තොණ්ඩමන්ගේ අවමගුල අතරේ නීති කඩකල අයට ඒරෙහිව පී.ඒච්.අයි ලා සටනට!‍

තොණ්ඩමන්ගේ අවමගුල අතරේ නීති කඩකල අයට ඒරෙහිව පී.ඒච්.අයි ලා සටනට!‍

ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමංගල්‍ය අවස්ථාවේ සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් කඩකරමින් සහ පොදුවේ පනවා ඇති සෞඛ්‍ය නීතිරීති එළිපිට උල්ලංඝනය කරමින් කටයුතු කල පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයට බලකරමින් සිටියි.‍

එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ අදාල අවමගුල් අවස්ථාවට පෙරාතුව මෙවැනි සෞඛ්‍ය උපදෙස් කඩකිරීමක් සම්බන්ධයෙන් තමන් අදාල පාර්ශවයන් දැනුවත් කල නමුත් එම උපදෙස් ඉතා මුග්ධ ආකාරයෙන් කඩකර ඇති බවයි.

කම්කරු කොංග්‍රසයේ ලොක්කෙක්ගෙන් තර්ජනයක්!‍

රටේ පවතින වසංගත තත්වය නිසා අවමගුල් පැවැත්වීමේදී අනුගමනය කලයුතු පොදු නීති සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් කටයුතු කරන නමුත් තොණ්ඩමන්ගේ අවමගුලේදී ඒ සියල්ල තඹදොයිතුවකට මායිම් නොකිරීම කෑපීපෙනෙන්නට තිබූ කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙක් අවමගුලට පෙරාතුව එහි සංවිධායක කටයුතු භාරව කටයුතු කරන ලංකා කම්කරු කොංග්‍රසයේ ඉහළ තනතුරක් දරණ දේශපාලනඥයෙක්ට දුරකතන ඇමතුමක් ලබාදී දැනුවත්කර ඇත්තේ අවමගුල් කටයුතු ඉතා සීමිත පිරිසකගේ පමණක් සහභාගිත්වයෙන් සහ සීමිත දින ගණනක් ඇතුලත පවත්වන ලෙසය.‍

නමුත් මෙම උපදෙස් ලැබීමත් සමග දැඩිලෙස කෝපයට පත්ව අදාල කොංග්‍රස් ලොක්කා සෞඛ්‍ය බලධාරියාට දුරකතනයෙන් තර්ජනය කර ඇත්තේ තමන් නියෝජනය කරන්නේ වත්මන් ආණ්ඩු පාර්ශවය බවත්, තමන් සැලසුම් කර ඇති පරිද්දෙන්ම ‌තම පක්ෂයේ නායකයාගේ අවමගුල වතුකරයේ ජනතාවගේ සහභාගත්වයෙන් පවත්වන බවය.

පොලිස්පතිට පැමිණිල්ලක්

ඒ මොහොතේම අදාල සෞඛ්‍ය බලධාරියා විසින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලිකර ඇති අතරම තොණ්ඩමන්ගේ අවමගුල අත රතුර නිරෝධායන නීතිරීති කඩකරන පුද්ගලයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා තිබේ.

මෙහිදී වහාම ක්‍රියාත්මකවූ පොලිස්පතිවරයා විසින් රජයේ අනුදැනුම යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට තාවකාලිකව ඇඳිරි නීතිය පනවා රජයේ ඇඳිවත බේරාදීමට ප්‍රාමාණික උත්සහයක් ගෙන තිබිණි.‍‍‍

එහෙත් සමාජ මාධ්‍යවල හුවමාරුවූ ඇතැම් තහවුරුකර නොගත් ඡායාරූපවල සඳහන්වූයේ ඇඳිරිනීතිය පනවා තිබියදී පවා තොණ්ඩමන්ගේ අවමගුලට ඇතැම් පිරිස් කණ්ඩායම් ලෙස සහභාගීවන ආකාරයයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංමගමය බලකරමින් සිටින්නේ එලෙස  හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් නිරෝධායන නීතිරීති සහ සෞඛ්‍ය උපදෙස් බල්ලාට දැමූ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය. එසේ නොකළහොත් තමන් එයට එරෙහිව වෘත්තීමය පියවරකට යොමුවන බවද මින් පෙර පවසා තිබිණි.‍

තවත් කොරෝනා රැල්ලක අවදානම?

මේ වනවිට නව කොරෝනා රෝගීන් වාර්තාවීම නිරෝධායන මධ්‍යස්ථානවලට පමණක් සීමාවී තිබුණද, සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින වතුකරයේ දේශපාලනඥයන් සහ ජනතාව නිසා කොරෝනා නැවත බාහිර සමාජය තුල පැතිරීමේ අවදානමක් පිළිබඳවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙළිදරව් කර ඇත.

එසේම යම්හෙයකින් තොණ්ඩමන්ගේ අවමගුල අතරතුර සෞඛ්‍ය උපදෙස් කඩකරන ලද පිරිස අතරෙන් ‌ෙකාරෝනා රෝගීන් වාර්තා වුවහොත් අදාල රෝගීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නිරෝධායන නීතිය යටතේ තමන් පසුබට නොවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

නිරෝධායන නීතිය එක එක තැන එක එක විදිහට‍

කොරෝනා රෝගය ලංකාව තුල ව්‍යාප්තවීම වර්ධනයත් සමගම කොරෝනා නිසා සිදුවන මරණ පමණක් නොව අනෙකුත් මරණ පවා අවමංගල උත්සවවලින් තොරතව ඉතා අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් දිනක් තුල සිදුකිරීමට කටයුතු යොදා තිබිණි.‍

මේ සම්බන්ධයෙන් විවිධ ජනවර්ග සහ ආගම් අදහන පිරිස් අතරේ නොසන්සුන්තාවක් මතුවූවද විවිධ පර්ශවවල මැදිහත්වීමෙන් සහ අදාල පියවර ගනු ලබන්නේ කොරෝනා රෝගය පාලනයට බව සැලකර සිටිමින් එම නොසන්සුන්තාවයන්  පාලනයට පියවරගන්නා ලදි.‍

නමුත් තොණ්ඩමන්ගේ අවමගුල ඒ සියලු නීති-රීති මෙන්ම සමාජ එකඟතාවයන් ද මායිම් නොකරමින් මහා රථ පෙලපාලි, අයුතු ජනරාශි, මූලික සෞඛ්‍ය උපදෙස් පවා උල්ලංඝනය කරමින් පැවැත්වීම තුල නැවත සමාජය තුල කතිකාවතක් නිර්මාණය වන්නේ ‘තොණ්ඩමන්ලාට නැති නීති පොඩි මිනිහාට බලපාන ආකාරයයි’

කොරෝනා අතරතුර මියගිය කලාකරුවන්ගේ අවමගුල් පවා පැවැත්වූයේ සෞඛ්‍ය නීතිරීති වලට හිස නමමින්ය. ඇතැම් අවමගුල් වලට පවුලේ සාමාජිකයන් ගෙන් වැඩි පිරිසකට සහභාගීවීමට හෝ අවස්ථාව නොලැබුණි. එවැනි තත්වයක් යටතේ තොණ්ඩමන්ලාගේ දේශපාලන සහ මුදල් බලයට රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කොන්ද අංශක බරගාණකට නවන්නට හැකිවීම ඛේදවාචකයකි.