හදිසි කොරෝනා ඡන්දයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද

හදිසි කොරෝනා ඡන්දයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(18) සලකා බැලීමට නියමිතව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ එම පෙත්සම් අද සහ හෙට(19) සලකා බැලීමට නියමිතව තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්රිඅයන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වෙයි.

රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, කුමාර වෙල්ගම, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පිරිස විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් නම් කර තිබේ.

එම පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 11ක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වේ.

එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි ද පෙත්සමේ සඳහන්ය.

''මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද ඔවුන් පෙන්වා දෙති.''

මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද ඔවුන් පෙන්වා දෙති.

ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමක් !

එමෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේ දී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවත් ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් අයද සිටීති.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර ඇත.