අතුරුදහන්වූවන් මරාදැමීමේ වගකීමෙන් රජයට නිදහස් විය නොහැකියි

අතුරුදහන්වූවන් මරාදැමීමේ වගකීමෙන් රජයට නිදහස් විය නොහැකියි

යුද සමයේ හෝ ඉන්පසුව, පැහැරගෙන යාමෙන් හෝ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, අතුරුදන්වූවන් මිය ගිය බවට නිගමනය කිරීමට පෙර, අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාවලියක් ඇති බවද එය අනුගමනය නොකර, ඔවුන් මරාදැමීමේ වගකීමෙන් රජයට නිදහස් විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි.

පසුගිය 17 වැනිදා “අතුරුදහන් වී සිටින පුද්ගලයන් ඇත්ත වශයෙන්ම මිය ගොස් ඇතැයි, ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිගර් හමුවේ පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් එම පක්ෂය විසින් අද(7) අතරුදන්වූවන් පිළිබඳ රජයේ කාර්යාලයට විරෝධය දක්වමින් ලිපියක් භාරදෙන ලදී.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පුබුදු ජයගොඩ පවසා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට අනුව, යුද්ධය අවසන්ව මව්පියන් විසින් ආරක්ෂක හමුදාවලට භාරදුන් පුද්ගලයන් මෙන්ම අතුරුදන්වූවන්ගේ වගකීම අත්හැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

විශේෂයෙන් යුද හමුදාව විසින් උතුරේ හා නැගෙනහිර විවිධ ස්ථානවලදී තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන නාම ලේඛන පවත්වාගෙන ගිය බව ප්‍රසිද්ධ කාරණයක් වුවද ඇතැම් අවස්ථාවල මව්පියන් විසින් දරුවන් ආරක්ෂක හමුදාවට භාරදුන් නමුත් ඔවුන්ට කුමක් වූයේදැයි දැනුම්දී නැති බවද ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දී ඇත.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට පෙ.ස.ප. ඉදිරිපත් කළ නිල ලිපිය මෙසේය.

“සභාපති,
අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය,
ශ‍්‍රාවස්ත‍ි මන්දිරය,
අංක 32, සර් මාකස් ප‍්‍රනාන්දු මාවත,
කොළඹ 07.

සභාපති තුමනි,


අතුරුදන්වූ තැනැත්තන් මියගිය සේ පිළිගෙන මරණ සහතික නිකුත් කිරීම


පසුගිය කාල වකවානුව තුළ විශේෂයෙන් උතුර හා නැගෙනහිර පළාත් තුළත්, පොදුවේ රට පුරාත් පුද්ගලයන් පැහැරගෙනයාම සහ අතුරුදන් කිරීම සිදු වූ බව විශේෂයෙන් අවධාරණය කළයුතු නැති සමාජ අවබෝධයකි. යුද්ධයෙන් අනතුරුව පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිසම අතුරුදන්කිරීම් 25,000ක පමණ ප‍්‍රමාණයක් නිරීක්ෂණය කර තිබූ අතර ඔබ ආයතනය විසින් ද එවැනි සිදුවීම් ගණනාවක් පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත. බලහත්කාරයෙන් අතුරුදන්කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායමේ වාර්තාවකට අනුව ඔවුන් අතුරුදන්වූ පුද්ගලයන් 16,000ක් පමණ ගණන්බලා ඇත. ඇමිනෙස්ටි හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ තක්සේරුව අවම වශයෙන් ලංකාවේ අතුරුදන්කිරීම් 20,000ක්වත් සිදුව ඇතිබවයි. අතුරුදන්කිරීම් පිළිබඳව රජයට ලැබී ඇති විධිමත් පැමිණිලි සංඛ්‍යාව 18,476කි. කෙසේ වෙතත් දස දහස් ගණනක් බලහත්කාරයෙන් පැහැර ගැනීමට ලක්ව අතුරුදන් කර ඇති බව පැහැදිලිය.


මේ ඇතැම් අතුරුදන් කිරීම් යුදමය පරිසරයක් තුළ හා සංග‍්‍රාම භූමියේ සිදුවිය. තවත් බොහෝ අතුරුදන් කිරීම් යුද්ධය සමග සම්බන්ධ නැත. නිදසුනක් ලෙස කොළඹ මාලිගාවත්ත හා මට්ටක්කුලිය ආශ‍්‍රිතව තරුණයන් අතුරුදන්කිරීම, මාධ්‍යවේදින් හා සමාජක‍්‍රියාකාරීන් අතුරුදන්කිරීම හා යුදසමයේ ආරක්ෂක අංශවලට භාරදුන් අයවළුන් හෝ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කටයුතු සඳහා භාරදෙනු ලැබූවන් අතුරුදන් කිරීම ආදිය දැක්විය හැක. අප පක්ෂයේ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජු හා කුහන් මුරුගානන්දන් සහෝදරවරු පැහැරගෙන අතුරුදන් කරවනු ලැබුවේ යුද්ධය නිමාවී වසර දෙකකටත් වඩා ඉක්මගිය, 2011 දෙසැම්බර් 09දින යාපනයේ අධි ආරක්ෂක කලාපයක් තුළදීය.

මේ සියලූ අතුරුදන් කිරීම් සඳහා යුක්තිය ඉටු කළයුතු අතර ඒ සඳහා වන ප‍්‍රථම පියවරවන්නේ එම අතුරුදන් කිරීම්පිළිබඳ විධිමත් විමර්ශන සිදුකොට ඔවුන් සම්බන්ධයෙන් සත්‍යය හෙළිකිරීමයි.
නමුත් ඒ වෙනුවට අතුරුදන්වූ සියලූ පුද්ගලයන් මියගිය බව නිළ වශයෙන් පිළිගෙන ඒ සියල්ලන් සඳහා මරණ සහතික නිකුත් කිරීමටරජය තීරණය කර ඇත. මෙම ජනවාරි දෙවන සතියේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව ප‍්‍රකාශකර ඇත. අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විසඳුම වන්නේ ඔවුන් මියගිය අයගේ නාම ලේඛනයට ඇතුල් කිරීම නොව ඔවුන්ට සිදුවූදේ පිළිබඳ සත්‍යය අනාවරණය කර ගැනීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන අතුරුදන්කිරීම්, පැහැර ගැනීම්, දේශපාලන රැුඳවියන්, දේශපාලන ඝාතන වැනි ප‍්‍රශ්න සිය භූ දේශපාලන න්‍යාය පත‍්‍ර වෙනුවෙන් කළමනාකරණය කිරීම හැර එම ප‍්‍රශ්නවල වින්දිතයන්ට අවම යුක්තිය හෝ ඉටුකිරීමේ අරමුණකින් ක‍්‍රියාත්මක නොවූ බව මෑත කාලීන අපගේ අත්දැකීම් තහවුරුකරයි. අතුරුදන්වූ සියලූ දෙනා මියගිය අය ලෙස ප‍්‍රකාශයට පත්කිරීමේ ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උදාසීන ප‍්‍රතිචාරය ඒ සඳහාවන තවත් නිදසුනකි.

අතුරුදන්වූ තැනැත්තන් රාශියකගේ ඥාතීන් හා සමීපතමයන් ඔවුන් ගේම රණ සහතික භාර ගැනීමේ සූදානමක නැති අතර අපිද ලලිත් සහ කුහන් සහෝදරවරුදෙදෙනා මියගිය බව භාරනොගන්නා බව තරයේ ප‍්‍රකාශකර සිටිමු. ඔවුන් මියගිය බව රජය පවසන්නේ නම් එය සිදුවූ ආකාරය සහ ඔවුන් මරාදැමුවේ කවුරුන්ද යන්න පිළිබඳ සියලූ තොරතුරු අපට ලබාදීම රජයේ වගකීමකි. එමෙන්ම අතුරුදන්වූ තැනැත්තන් සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමට පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන ඔබගේ වගකීමකි. දැනටත් එම සහෝදරවරුන් දෙදෙනා පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේ හබයාස් කෝපුස් පෙත්සමක් විභාග වෙමින් පවතී.

එබැවින් මරණසහතික ලබාදී මානුෂවාදී සමාජ සම්මුතීන්ට එරෙහි ක‍්‍රියාවන් සහ දේශපාලන අපරාධ ඉතිහාසයේ වලලා දැමීම වෙනුවට ලලිත් සහ කුහන් සහෝදරවරුන්ද ඇතුළු සියලූ අතුරුදන් කිරීම් පිළිබඳ විධිමත් හා පාරදෘශ්‍ය විමර්ශන සිදු කොට ඔවුන්ට සිදුවූදේ පිළිබඳ සත්‍යය වහා සමාජයට අනාවරණය කරන ලෙස අපි ඔබෙන් දැඩි අවධාරණයක් සහිතව ඉල්ලා සිටිමු. මහජන බදු මුදලින් පවත්වාගෙන යන ආයතනයක් ලෙස අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ජනතාවට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් විශාල වගකීමක් ඇති බව ද සිහිපත් කර සිටිමු.
ස්තූතියි.
මෙයට,

පුබුදු ජයගොඩ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2020 පෙබරවාරි 07“