දේශපාලනයෙන් සමුගන්නේ නෑ..මාතරින් ආයෙත් පටන්ගන්නවා - මංගල

දේශපාලනයෙන් සමුගන්නේ නෑ..මාතරින් ආයෙත් පටන්ගන්නවා - මංගල

හිටපු මුදල් අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සිය පාක්ෂිකයන්ට සහතිකයක් දෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තවමත් අදහසක් නොමැති බවත්, නිසැක වශයෙන්ම ඉදිරි මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවත් ය. වැලිගම මැරියට් හෝටලයේදී පැවති සාදයක් අතරතුර හෙතෙම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීව කටයුතු කළ එ.ජා.ප පාක්ෂිකයන්,දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමග පැවති සුහද සාදයකදී හිටපු අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්වූ ආකාරයට තමන් දේශාපලනයෙන් සමුනොගන්නා බවත්, තමන් ඒ සම්බන්ධයෙන් කිසිඳු විටක නිළ ප්‍රකාශයක් නොකළ බවද පැවසීය. ඉදිරි මහ මැතිවරණය ඉතා තීරණාත්මක එකක් වන නිසා එහිදී සුපුරුදු ලෙසම මාතර නායකත්වය ගෙන එ.ජා.ප ය ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන බවද හෙතෙම පවසා ඇත.

ජූලි මස මාතර දී පැවති මංගල සමරවීර චරිතාපදාණය ජනගත කිරීමේදී ද හෙතෙම ඉහත අදහස දක්වා තිබුණි. 1983 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මංගල සමරවීර මාතර කීර්තිමත් දේශපාලනඥයෙක් වූ මහනාම සමරවීරගේ පුත්‍රයා ය. 1989 වසරේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූ මංගල මව් පෙරමුණ නිසාවෙන් ජනතාව අතර දිදුලන චරිතයක් බවට පත්විය. 1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක සමග එක්ව 17 වසරක එ.ජා.ප පාලනය බිඳහෙලීමට ක්‍රියාකල මංගල 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමටද ඉහළම දායකත්වය දැක්වූ පුද්ගලයා විය.

මහින්ද රාජපක්ෂ පාලනය සමග ඇතිකරගත් මත ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසට 'වර්ගවාදය' සහ 'මර්ධනය' ට එරෙහිව එ.ජා.ප ය සමග එක්වී 2015 දී මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට කටයුතු කරන ලදි. 2015 රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම පසුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' සහ 'ගම්පෙරලිය' වැනි සංවර්ධන ප්‍රයත්නයන් හරහා සංවර්ධනය කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන්හ. 

ජනමාධ්‍ය නිදහස, සංහිඳියාව මෙන්ම සියලුම ආකාරවල ත්‍රස්තවාදයන්ට එරෙහිව නිර්භයව ඉදිරිපත්වන දේශපාලන චරිතයක් ලෙස ප්‍රකට මංගල අවශ්‍ය තැනදී කිව යුතු දේ මුහුණටම කියන පුද්ගලයෙක් නිසා අහිමිකරගත් දේ බොහෝය. එහෙත් ඔහු දේශපාලනයේ රැඳී සිටීම මෙරට දේශපාලනය තවදුරටත් තීරණාත්මක තැනකට ගෙනයන සාධකයක් වනු නියතය.