ලසන්ත අලගියවන්න චන්ද්‍රිකා සමග එක්වෙයි - 'අපි ශ්‍රී ලංකා' කණ්ඩායම තවත් ශක්තිමත් වෙයි

ලසන්ත අලගියවන්න චන්ද්‍රිකා සමග එක්වෙයි - 'අපි ශ්‍රී ලංකා' කණ්ඩායම තවත් ශක්තිමත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ නායකත්වයෙන් යුත් 'අපි ශ්‍රී ලංකා' කණ්ඩායමට එක්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අද (05) කොළඹදී පැවැත්වීමට නියමිත 'අපි ශ්‍රී ලංකා' විශේෂ සමුළුව අවස්ථාවේදී ලසන්ත අලගියවන්න චන්ද්‍රිකා කණ්ඩායම සමග එක්වීම සිදුවනු ඇත.

ලසන්ත අලගියවන්න 2004 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු අතර ඔහු හිටපු ජනාධිපතිනියගේ ඉතා සමීපතම දේශපාලනඥයෙක් ද වේ. අමාත්‍යධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර ගණනාවක් ඔහු විසින් දරණු ලැබූ අතර 2015 න් පසු මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව යහපාලන ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියාකල නමුත් ගෝඨාභය රාජපක්ෂට සහයදීමට නිදහස් පක්ෂය ගත් තීරණය සමග ඔහු එම කණ්ඩායමට එක්ව කටයුතු කළ පුද්ගලයෙක් විය.

නමුත් හිටපු ජනාධිපතිනිය විසින් නිදහස් පක්ෂයේ ගෝඨාභය විරෝධී මත දරණ කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමග එක්ව නිර්මාණයකරගත් නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හෙවත් 'අපි ශ්‍රී ලංකා' කණ්ඩායමට ලසන්ත අලගියවන්න එක්වීම පිටුපස සම්පූර්ණ ක්‍රියාන්විතය දියත්කර ඇත්තේ චන්ද්‍රිකා විසින්මය. මේ අනුව නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායම තවත් විශාල වන අතරම එය නිදහස් පක්ෂයේ තීරණයට එරෙහි කණ්ඩායම ශක්තිමත් කරන සාධකයක් වනු ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නීතිවිරෝධීව සහ අත්තනෝමතිකව මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත්කර ආණ්ඩු පෙරලියක් සිදුකිරීමට උත්සහ ගත් අවස්ථාවේ එවකට මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්නට එයට දැඩිසේ විරෝධය දක්වනු ලැබූ පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරයද හෙබවීය.

More News