කරන්නාගොඩ මිසින් : සිතාසි ‌දෙන්න විදිහක් නැහැ

කරන්නාගොඩ මිසින් : සිතාසි ‌දෙන්න විදිහක් නැහැ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද(07) දෙවන දිනයේත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්ල,

ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළේය.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කළේය.

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ දාහතර වන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.

මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න විත්තිකාර කරන්නාගොඩ පදිංචිව සිටින බැද්දගාන ප්‍රදේශයේ පිහිටි නිවසකට වැලිකඩ පොලීසිය මඟින් සිතාසි භාර දීම සඳහා ගොස් තිබුණත් එහි ඔහු නොසිටි බව දන්වා සිටියේය.

තව දුරටත් කරුණු දැක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විත්තිකාර කරන්නාගොඩ මහතා පදිංචිව සිටින තවත් නිවසක් කිරුළපන ප්‍රදේශයේ තිබෙන බවත් ඊට රහස් පොලිසියේ නිලධාරීන් ඊයේ(06) දින ගොස් සිතාසි බාර දීමට උත්සාහ කළත් එහි ඔහු නොසිටි බව ප්‍රකාශ කර සිටියේය.

වසන්ත කරන්නාගොඩ යනු ශ්‍රී ලංකා නාවික හමුදාවට සිටින එකම අද්මිරාල්වරයා බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඔහු ප්‍රසිද්ධ රාජ්‍ය උත්සවවලට පවා පෙනී සිටින බවද සඳහන් කළේය.

එසේ තිබිය දී රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක් වන රහස් පොලිසියට වසන්ත කරන්නාගොඩ සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවන බවද සඳහන් කර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විත්කාර කරන්නාගොඩට ආරක්ෂාව සැපයීම තවමත් නාවික හමුදාව විසින් සිදුකරන බවයි දන්වා සිටියේය.

මේ හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පති වරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයාව මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.

නඩුව නැවත පෙබරවාරි මස 24 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

සබැඳි පුවත්