මහ මැතිවරණය අප්‍රේල් අග - පොහොට්ටු අපේක්ෂකත්වයට දැනටම ගැටුම්!

මහ මැතිවරණය අප්‍රේල් අග - පොහොට්ටු අපේක්ෂකත්වයට දැනටම ගැටුම්!

එළඹෙන අප්‍රේල් මස අගදී මහ මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ පාර්ශවයෙන් තොරතුරු වාර්තා කරයි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද මේ පිළිබඳව අදහස් දක්වා තිබේ. මාර්තු 3 වැනි දින පාර්ලිමේන්තුව විසුරවා හරින බවත්, ඊට පසුව මහ මැතිවරණය පැවැත්වීමට දින තිරණය කරනු ඇති බවත් සැලවේ. කෙසේ වෙතත් සියලුම පක්ෂ මේ වනවිටත් ලහි ලහියේ මහ මැතිවරණය වෙනුවෙන් පිඹුරුපත් සකස්කිරීම අරඹා ඇත.

ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා දැනටමත් දැඩි පොරයක් නිර්මාණය වී ඇති අතර එය ගැටුම් දක්වා ඇදීයාම වළක්වා ගැනීමේ උත්සහයක පොදුජන පෙරමුණේ නායකයන් නිරත වෙමින් සිටිති. එයට හේතුව වී ඇත්තේ පොදුජන පෙරමුණ මින් පෙර නිදහස් පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමග සන්ධානගතවී පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටියද එයට පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් කැමැත්ත නොදැක්වීම මෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ අයිතිය හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරණායකට අයත්ව තිබීමය.

ඒ නිසා පසුව තීරණය කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන සන්ධානය හෝ ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය යන නමින් 'පොහොට්ටුව' ලකුණින් ඉදිරිපත් වීමට ය. ඒ සමගම පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මෙන්ම නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වැනි පක්ෂවල පිරිස් දැඩි තරඟයක නිරත වෙමින් සිටිති. එය දරුණු ගැටුමක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇත.

එක්සත් ජාතික පක්ෂය තුලද අපේක්ෂකත්වය වෙනුවෙන් මතවාදී  ගැටුම් නිර්මාණයවී ඇත්තේ ඇතැම් මන්ත්‍රීවරුන්ට අපේක්ෂකත්වය ලබානොදෙන ලෙස පක්ෂය තුලින්ම බලපෑම් එල්ලවෙමින් තිබීම නිසාය.