හිටපු යූ.ඇන්.පී මන්ත්‍රීවරු ගල්කිස්ස වෙරළට - මිලියන සිය ගණනක විනාශය ගැන පරීක්ෂණයක් ඉල්ලති

හිටපු යූ.ඇන්.පී මන්ත්‍රීවරු ගල්කිස්ස වෙරළට - මිලියන සිය ගණනක විනාශය ගැන පරීක්ෂණයක් ඉල්ලති

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය අජිත් මාන්නපෙරුම සහ හිටපු මන්ත්‍රීවරුන් වන එස්.එම්.මරික්කාර් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ(01) ගල්කිස්ස වෙරළ තීරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පසුගියදා මිලියන 900කට ආසන්න මුදලක් වැයකරමින් ගල්කිස්ස වෙරළට වැලි පිරවීමෙන් අනතුරුව මේ වනවිට එම වැලි ඛාදනය වී සිදුව ඇති හානිය පරික්ෂා කිරීම මෙහි අරමුණ විය.

මෙහිදී අදාල මන්ත්‍රීවරුන් වෙරළේ සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් දැක්වීම සිදුකරන ලද අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, මහජන මුදල් මිලියන ගණනක් මුහුදට ගසාගෙන යාම අනුමත කළ නොහැකි බවද පැවසීය.

ඒ අතර රජයේ පාර්ශවයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ වෙරළ ගොඩකිරීමට පෙර පැවති තත්වය දක්වා නැවත වැලි ඛාදනය වී ඇති බවත්, අදාල වැලි තමන් අපේක්ෂා කල පරිද්දෙන් වැල්ලවත්ත වෙරළ තීරයේ තැන්පත්වී ඇති බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ව්‍යාපෘති යෝජනාවේ කොතැනකවත් වැල්ලවත් වෙරළ තීරයේ වැලි තැන්පත් කිරීම සම්බන්ධයෙන් සඳහන් නොවන බවය. එයට පිළිතුරු දුන්  නිලධාරීන් කියා සිටියේ නම් වශයෙන් සඳහන් නොවුනද ව්‍යාපෘතියේ අරමුණ වූයේ මෙලෙස ගල්කිස්සේ පුරවන වැලි වෙනත් වෙරළ තීරයන්හි තැන්පත්වීම බවය.

අදාල නිළධාරීන් කියා සිටින්නේ මෙම ව්‍යාපෘති සාර්ථක බවයි.