ගෝඨා සහ සජිත්ගේ වියදම මිලියන 3563ක් !

ගෝඨා සහ සජිත්ගේ වියදම මිලියන 3563ක් !

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පැවති ජනාධිපතිවරණය සඳහා සියලූම අපේක්ෂකයන් වියදම් කළ සම්පූර්ණ ප‍්‍රචාරණ වියදම්වලට අදාළ අවසන් වාර්තාව නිකුත් කර ඇති අතර ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිස්පස් දෙනා සිය මැතිවරණ ප‍්‍රචාරණය සඳහා වියදම් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 3796 වේ.

එම වාර්තාවට අනුව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සිය ප‍්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 1826ක්ද, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සිය ප‍්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 1737ද ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ වියදම ලෙස රුපියල් මිලියන 169ද වැය කර ඇත.

එසේම මුද්‍රිත මාධ්‍ය ප‍්‍රචාරය සඳහා වැඩිම වියදමක් සිදුකර ඇත්තේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා වන අතර එම මුදල රුපියල් මිලියන 216 වේ. එසේම විද්‍යුත් මාධ්‍ය සඳහා වැඩිම වියදමක් සිදුකර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන අතර එම මුුදල රුපියල් මිලියන 1126කි. ඊට අමතරව රැස්වීම් ඇතුළු අනෙකුත් වියදම් සඳහා වැඩිම වියදමක් සිදුකර ඇත්තේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණු ජනාධිපති අපේක්ෂකයාය.

එසේම මෙම ප‍්‍රධාන අපේක්ෂකයන් තිදෙනා හැරුණු විට ජනාධිපතිවරණය සඳහා අනෙකුත් අපේක්ෂකයන් තිස් දෙදෙනා වැය කර ඇති මුදල රුපියල් මිලියන 64කි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන ප‍්‍රධාන අපේක්ෂකයන් තිදෙනා පමණක් රුපියල් මිලියන 3732ක මුදලක් සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා වැය කර ඇති අතර ප‍්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස, සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරය සඳහා රුපියල් මිලියන 3563ක් වියදම් කොට ඇත.

(රාවය)

රුපියල් මිලියන 3563 ක් යනු ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.5 කි. රටේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්‍රමාණයකි. ඒ තරම් විශාල මුදලක් වැයකොට ජනතාවට සේවය කරන්නට පැමිණෙනවා යැයි සිතීමම අමුම ගොන්කමකි. අනිත් පැත්තෙන් මේ කිසිවෙකුත් මීය කඩන්නේ අත ලෙවකන්නට නොවන බව ඡන්දදායකයාද නොදන්නවා නොවේය. බරපතලම කරුණ නම් මේ තරම් මුදලක් මේ අපේක්ෂකයන්ට ලැබුණු ආකාරයයි. මේ කිසිඳු පක්ෂයක ගිණුම ඒ තරම් සරු නැති බව පැහැදිලිය. එසේ නම් බිලියන ගණන් මුදල් එක්කෝ ව්‍යාපාරිකයන් කප්පම් ලෙසින් ලබාදී ඇත, නැත්නම් වෙනත් රටවල් වලින් හෝ වෙනත් සංවිධාන වලින් ලැබී ඇත. එසේ නම් ඒ කුමක් වෙනුවෙන්ද? 

මේ බිලියන ගණන් ආධාර ලබාදුන් උදවිය කව්ද සහ එසේ ලබාදීමට හේතුව සොයාබැලිය යුතුමය. ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් නොමැතිවීම ගැටළුවකි. හොරුන්ගේ අම්මලාගෙන් පේන අසා පලක් නැත. නමුත් ගැටළුව වන්නේ බිලියන ගණන් වැයකළ අය පොලියද සමග මෙකී දේශපාලනඥයින්ගෙන් ප්‍රතිලාභ ඉල්ලන විට ගෙවන්නට වන්නේ ජනතාවගේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල්වන බැවිනි.

More News