මැ.කො යන්නට තීරණය කරයි..

මැ.කො යන්නට තීරණය කරයි..

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය තනතුරෙන් විශ්‍රාම යන බව නිළ වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව කථානායක කරූ ජයසූරියටද හෙතෙම මේ බව ලිඛිතව දන්වා ඇති බවද සැලවේ. ජනාධිපතිවරණයට පෙරාතුව හෙතෙම සිය තනතුරින් විශ්‍රාම යන බවට මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

ස්වාධීන කොමිෂන් සභාවක ප්‍රධානියෙක් හෝ සාමාජිකයෙක් ඉන් වත්වන විට ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස නිලබලයෙන් කටයුතු කරන කථානායකවරයාට ඒ පිළිබඳව නිළ වශයෙන් දැනුම්දිය යුතු වන අතර, එය අනුව මැතිවරණ කොමසාරිස්වරයා සිය තනතුරින් විශ්‍රාම යාමට අවසර ඉල්ලා තිබේ. ඉදිරියේදී මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන අතර කල් දමනු ලැබූ පළාත් සභා මැතිවරණයද පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලැබීය.

2011 වසරේදී එවකට මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ දයානන්ද දිශානායක විශ්‍රාම යාමෙන් අනතුරුව මහින්ද දේශප්‍රිය එම තනතුරට පත්වූ අතර 2015 දී මැතිවරණ කොමිෂන් සභාව බිහිවීමත් සමග එහි සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය පත්කරනු ලැබීය. සිය රාජකාරී කාලය අතරතුර කටයුතු කළ ආකාරය සහ නිරතුරුවම සිනහමුසු මුහුණින් යුතුව කටයුතු කරනු ලැබූ හිතෛශී රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඔහු ප්‍රකට විය.

සමාජ ජාල ක්‍රියාකාරීන් සමගද ඉතා කිට්ටු සබඳතාවයක් පැවැත්වූ මහින්ද දේශප්‍රිය මැතිවරණ නීති අකුරටම ඉටුකිරීම සඳහා දැඩි ප්‍රයත්නයක නිරතවිය. එසේම පසුගිය මැතිවරණයේදී ඡන්ද පෙට්ටි සඳහා කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීම මගින් රජයට මිලියන ගණනක මුදලක් ඉතිරිකර දීමටද කටයුතු කිරීම බොහෝදෙනෙක්ගේ ඇගයීමට ලක්විය.