පොල් වතු අස්සේ හැංගෙද්දී උදව් කළේ පක්ෂෙ මිනිස්සු : අමතක කරන්න එපා

පොල් වතු අස්සේ හැංගෙද්දී උදව් කළේ පක්ෂෙ මිනිස්සු : අමතක කරන්න එපා

හිටපු ජනාධිපති ශ්‍රි.ල.නි.පයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කළ ලේකම්වරු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැදිව අවංකව කටයුතු කරන මා ඇතුළු ජේෂ්ඨයින් විශාල පිරිසක් තනතුරුවලින් ඉවත් කර, හිරිහැර කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග පවසයි.

සභාපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යොමු කරමින් ඇය මේ බව පවසා තිබේ. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රශ්න කරන්නේ එදා රාජපක්ෂ භිෂණයට බියෙන් පොල් වතු මැද්දේ ඔබ සැඟවෙන විටත්, ඊට නොබියව ඉදිරිපත්ව ඔබට සහාය දුන් සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අද ඔබ ලබා දුන් ත්‍යාගය වන්නේ ඔවුන්ගේ ආසන හා දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු අහිමි කිරීමද? යන්නයි. 

එම ලිපිය පහලින් දැක්වේ. 


2020.03.11

ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,
සභාපති,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,
ටී.බී. ජයා මාවත,
කොළඹ 10.

හිතවත් සභාපතිතුමනි,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශය සහ පක්ෂයේ ජේෂ්ඨයින් දේශපාලන අනාථයින් බවට පත්කිරීම සම්බන්ධවයි.

ඔබ විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් පත්කර ගත් ලේකම්වරුන් දෙදෙනා විසින් පසුගිය වසර එක හමාරකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැදිව අවංකව කටයුතු කරන මා ඇතුළු ජේෂ්ඨයින් විශාල පිරිසක් තනතුරුවලින් ඉවත් කර, හිරිහැර කරන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ඔබ ඇතුළු ගෝල බාලයන් විසින් මට සිදු කර ඇති හිරිහැර කරනවා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වන මම, අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කොට ඇති බව, ඔබතුමා යටතේ පක්ෂයේ ඉහළ නිලතල දරන කිහිප දෙනෙකු විසින් ජනමාධ්‍ය ඔස්සේ කරනු ලබන ප‍්‍රකාශ දැකීමෙන් මම විස්මයට පත්වීමි.  ඒ සම්බන්ධයෙන් මාගේ අදහස් ඔබට දැන්වීම පක්ෂ නායිකාවක ලෙසට මගේ වගකීමක් කොට දකිමින් ඔබට මෙසේ ලියමි.

- ප‍්‍රථමයෙන්ම අප පක්ෂයේ ව්‍යවස්ථාව අනුව, පක්ෂයේ සංවිධායකවරුන් පත් කිරීම හා ඉවත් කිරීම පක්ෂ සභාපති සතු බලයක් වේ.

- දෙවනුව, යම් අයෙකු ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලබන්නේ නම්,   සභාපතිවරයාගේ අත්සනින් යුත් ලිපියකින් ඒ බව ඒ තැනැත්තාට දැන්විය යුතු අතර, එසේ කිරීමට පෙර අවම වශයෙන් ඒ සඳහා බලපෑ කරුණු මොනවාදැයි අදාල තැනැත්තාට දැන්විය යුතුවේ. එමෙන්ම එකී ඉවත් කිරීම පිළිබඳව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැන්විය යුතුය.  

නින්දිත වැඩ කරනවා 

ඒ වෙනුවට පක්ෂ ලේකම්වරයා ඉතා නින්දිත ආකාරයට, මා පක්ෂයෙන් පන්නා දමන බව ප‍්‍රකාශ කරමින් පවත්වන මාධ්‍ය සංදර්ශන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි වැදගත් පක්ෂයකට නොහොබිනා කාර්යයක් බව; ඔබට අවබෝධ නොවීම පුදුම සහගතය.

මාගේ සංවිධායක ධුරය ඉවත් කිරීම පිළිබඳව ඔබතුමාගේ අත්සනින් යුතු ලිඛිත දැන්වීමක් මෙතෙක් මා වෙත ලැබී නොමැති අතර, මා දන්නා තරමට ඒ සම්බන්ධයෙන් මේ වනතුරුත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් ද ගෙන නැත.

එසේ හෙයින් මෙම ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බව දන්වමි.

සදාචාර සම්පන්න නොවන වැඩක් 

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වූයේ, ආසන සංවිධායකයෙකු ඉවත් කිරීමට පෙර අදාල මැතිවරණ කොට්ඨාශයේ මධ්‍ය සංවිධානය කැඳවා, ඔවුන්ගේ මතය විමසා, පක්ෂය විසින් තීන්දුවක් ගැනීම යි.

එහෙත් මෙතෙක් අත්තනගල්ල ආසනයේ මධ්‍ය සංවිධානය කැඳවා මේ සම්බන්ධයෙන් කිසිදු විමසීමක් ද සිදු කොට නැත.

එසේ හෙයින් මෙම ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බවත් දන්වමි.

සංවිධායක ධුර වලින් සහ පක්‍ෂයේ ප‍්‍රධාන ආයතන වලින් පන්නා දමා ඇති සියල්ලන් පක්‍ෂයට හෝ අප රටට දේශපාලන වශයෙන් කිසිදු වරදක් කර නැත. එසේම පක්‍ෂ ව්‍යවස්ථාව අනුව හෝ පිළිගත් දේශපාලන සම්ප‍්‍රදායන් අනුව ද කිසිම වරදක් සිදු කර නැත.

එහෙත් ඔවුහු පක්‍ෂය වෙනුවෙන් අතිවිශාල සේවයක් කළ අය වෙති. ඔබතුමා ද කවදාවත් නොසිතූ ආකාරයට ජනපති ධුරය දක්වා රැගෙන ඒමට ජීවිත පරදුවට තබා සටන් කළ අය වෙති.

කරුණු එසේ තිබිය දී මෙසේ මොවුන්ට එරෙහිව ඉතා අසාධරණ ලෙස කටයුතු කළේ මන්ද?
- මා දකින එකම හේතුව නම්, අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කර ගනිමින්, පක්‍ෂයේ අනන්‍යතාව තහවුරු කරගෙන, ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමයි.

පක්ෂය පොහොට්ටුවේ ශාඛාවක්..? 

- වෙනත් පක්ෂ සමග සන්ධානගත වුවත්, ඒ කිසිදු පක්ෂයකට ගැති නොවී අප පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් එම සන්ධානය ගොඩනැගිය යුතුය යන මතය දැරීම අප කළ එකම පාප කර්මය ද? ඒ වෙනුවෙන්, ඔබ සහ ඔබේ ගෝල බාලයින් කීපදෙනෙක් අප පක්‍ෂය විනාශ කර, එය පොහොට්ටුවේ ශාඛාවක් බවට පත් කිරීමට දියත් කළ කූඨ ව්‍යාපාරයට එරෙහිව පක්‍ෂය තුළ, අප සතුව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මත ක‍්‍රියාත්මක වීමයි.

පොල්වතු මැද්දේ හැංගුණා

- එදා රාජපක්ෂ භිෂණයට බියෙන් පොල් වතු මැද්දේ ඔබ සැඟවෙන විටත්, ඊට නොබියව ඉදිරිපත්ව ඔබට සහාය දුන් සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අද ඔබ ලබා දුන් ත්‍යාගය වන්නේ ඔවුන්ගේ ආසන හා දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු අහිමි කිරීමද? ඔවුන් පක්ෂයෙන් පන්නා දැමීමට කටයුතු කිරීම ද?

මා සහ අප පාක්‍ෂිකයින් විශාල පිරිසක්, තවත් දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන 49 ක් සමග අත්වැල් බැඳගෙන ඔබව ජනපති කළේ, පැහැදිලි දර්ශනයක්, වැඩ පිළිවෙළක්, සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමටයි. ඒ දර්ශනය තුළ හොරකමට, අශීලාචාරකමට තැනක් තිබූණේ නැත. දූෂණය පිටු දකිමින්, මිනිස්කම රජයන ආණ්ඩු පාලනයක් පිළිබ`ද අපි සිහින මැවුවෙමු.

යහපාලන රජය සහ ශ්‍රී.ල.නි.පය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණය

එහෙත් 2015 දී ජනතාව විසින් ප‍්‍රතික්‍ෂෙප කළ කණ්ඩායම, නැවත බලය ලබා ගැනීම පිණිස පුළුල් සහ ගැඹුරු කුමන්ත‍්‍රණයක් දියත් කරනු ලැබීය. දේශීය ප‍්‍රචාරණ ආයතනයක මෙහෙයවීමෙන් ද, විදේශ රටවල් කිහිපයක විශේෂඥ උපදෙස් හා ක‍්‍රියාකාරකම්වල ආධාරයෙන් ද මෙම කුමන්ත‍්‍රණය සාර්ථක කර ගැනීමට හැකිවිය. එහි ප‍්‍රධාන අංගය වූයේ ඔබව මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන ඒජන්තවරයා කර ගැනීමයි.  කුමන හෝ පටු අරමුණක් වෙනුවෙන් ඔබතුමා එම කාර්යභාර්ය ඉටු කළ බව අපට අකමැත්තෙන් වුව පිළිගැනීමට සිදු ව තිබේ. 2015 දී අප  සියලු දෙනා එකතු වී බලයට පත් කර ගත් රජය විනාශ කිරීමේ කටයුත්ත ඔබ ඇරඹුවේ ආණ්ඩු බලය ලබාගෙන වසරක් ගතවන්නටත් පෙරය.

ජනතාවගේ අප්‍රසාදයට ලක්වුණා 

රජයේ යහපත් ආර්ථික සැලසුම් කැබිනට් මණ්ඩලයේ දී  අනුමත කිරීමට ඔබේ සමහර ඇමතිවරු ලවා ඉඩ නොදී, කඩාකප්පල් කළ නිසා, රාජපක්‍ෂ රජය දුර්වල කර තිබුණු ආර්ථිකය ගොඩනගන්නට යහපාලන රජයට නොහැකිවුවා පමණක් නොව, රජය ජනතාවගේ අප‍්‍රසාදයට ද පත්විය.

පක්‍ෂ සංවිධාන ව්‍යුහය දුර්වල කර, පක්‍ෂයේ නිර්මල දර්ශනය පසෙකලා, කුඩු, කසිප්පු, කැසිනෝ සහ බුකී මුදලාලිට භාර දී ඔවුන්ගේ ජනතා විරෝධී චින්තනයට ගැලපෙන පරිදි 2015 වන විට විකෘති කර තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවත ප‍්‍රතිසංවිධානය කිරීමට පවා ඔබට අවශ්‍ය නොවීය. ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනෙන් දින දුර්වල විය.

ඔබ සහ ඔබ ලේකම් ඇතුළු සහචරයන්ගේ  චෝදනා 

01. මම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බවයි. අද ඔබ සන්ධානගත වී සිටින පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා කිහිප විටක් ම එක්සත් ජාතික පක්ෂ නායකවරුන් සමග එකතු වී අප පක්ෂයට හානි කළ ආකාරයට, මා විසින් කිසි විටෙක කටයුතු කොට නොමැත.

මාගේ දේශපාලන ජීවිතයේ පළමු වරට එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතාවක් ගොඩනගා ගන්නේ 2015 ජනාධිපතිවරණය ස`දහා පමණි. ඒ ඔබගේ ද පූර්ණ එකඟතාවය මත සිදුවූවකි.

- මා එසේ කළේ 2005-2015 පැවැති දුර්දාන්ත පාලනයට එරෙහිව ජනතාව තුළ ගොඩනැගී තිබුණු විරෝධය හේතු කොට ගෙන 2015 ජනාධිපතිවරණය සහ මහා මැතිවරණවල දී අප පක්ෂය අන්ත පරාජයට පත්වන්නට නොදී, ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙනි.

- එකී අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා රටේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන 49 කින් සමන්විත පුළුල් සංවිධානයක් ගොඩනගා ගත්තෙමු.
- එම සන්ධානය තුළ අප පක්ෂයේ දායකත්වයට වඩා එක්සත් ජාතික පක්ෂයේ දායකත්වය වැඩි වුවත්, සන්ධානයේ නායකත්වය සහ සන්ධානය තුළ සම තත්ත්වයක් අප පක්ෂයට ලබා ගැනීමට හැකි විය.

අප දෙපාර්ශවයම එකතු වීම නිසා ඔවුන්ට ද රාජ්‍ය බලය ලබා ගත හැකි වූ බව සත්‍යයකි. එහෙත් ජනාධිපති ධුරය ඇතුළු ප‍්‍රබල අමාත්‍ය ධුර ගණනාවක් ම අප පක්ෂයට ද ලබා ගැනීමට හැකි විය. එ.ජා.ප යට සහාය දුන්නා යැයි අද මට දොස් පවරන දයාසිරි ජයසේකර ලේකම්වරයාට පවා ජීවිතයේ පළමු වතාවට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි වූයේ ද, අප පක්ෂය ශක්තිමත් කරනු පිණිස මම එදා එජාපය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 49ක් සමග සන්ධානගතවීම නිසා නොවේ ද? අප පක්ෂයට එම වරප‍්‍රසාද ලබා ගැනීමට හැකි වූයේ එදා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහට හෝ කරු ජයසූරියට හිමිවීමට තිබූ පොදු අපේක්ෂකත්වය අප පක්ෂයේ ලේකම්වරයාට ලබා දීමට මා මැදිහත් වූ නිසාවෙනි.

02. අපට එල්ල කරන අනෙක් චෝදනාව නම් 2019 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කළ බවයි. එය අසත්‍යයකි. අප ඒ මොහොතේ පෙනී සිටියේ පක්ෂ ප‍්‍රතිපත්ති රැක ගැනීම වෙනුවෙන් පමණි.

මේ අතර 2019.10.04  දින ඔබතුමා ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී, එයට සහභාගී වූ පිරිස අතුරින්  90‍ වඩා වැඩි පිරිසකගේ විරෝධතාවය පසෙකලා, පක්ෂයේ දෙතුන් දෙනෙකුගේ  පුද්ගලික අවශ්‍යතාව අනුව පොහොට්ටු පක්ෂයත්  සමග සන්ධානගත වීමට ගත් අත්තනෝමතික තීන්දුව හරහා අත්සන් කළ ගිවිසුමේ, 12 වන වගන්තියට අනුව  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙන් ම, පක්ෂය වෙනුවෙන් මෙතෙක් ජීවිත පරදුවට තබා කටයුතු කළ ආසන සංවිධාකයින් සියල්ලන්ගේත් දේශපාලන අනාගතය සුන්නද්ධූලි වන බව පැහැදිලිව පෙනී යයි.  එමෙන් ම මෙවැනි ප‍්‍රබල තීන්දුවක් ගැනීමේ බලය සමස්ත ලංකා කාරක සභාව සතු වන බව පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරයි. මෙය තවමත් සිදු වී නොමැත.                                                                                      
එම තත්ත්වය කෙතරම් භයංකාර විද යත්, ඔබටම එය ඉවසා ගත නොහැකි වූ තැන, පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්ව, වැඩ බලන සභාපතිවරයෙකු නීති විරෝධී ලෙස පත්කොට ඔබ පක්‍ෂ නායකත්වයෙන් ඉවත්ව ගියේය.

උක්ත තීරණය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයන් සියලූ දෙනා පොහොට්ටු පක්ෂයට බිලි දීම සඳහා දංගෙඩියට දක්කනු ලැබූ මොහොතක,  බණ්ඩාරනායක දියණියක ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට තවත්  නිහඬව බලා සිටිය හැකි යැයි ඔබ සිතන්නේ ද?

අවසානයේ, පක්ෂ සභාපතිත්වය හැර දමා ඔබ පලා යාම නිසා, නායකත්වයක්  නොමැතිව අසරණ වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිිකයින්ගේ අයිතිය හා ආරක්ෂාව වෙනුවෙන් පක්ෂ නායකයින් පිරිසකගේ ඉල්ලීම මත ඔවුන්ට හරිමග ගමන් කිරීමට මම නායකත්වය දීම වරදක් සේ ඔබ දකින්නේද?
2015 දී අපේ ජයග‍්‍රහණයට පදනම් වූ ප‍්‍රතිපත්ති වසර පහක් තිස්සේ ඔබ අමතක කළත්, කුමන අභියෝග මධ්‍යයේ වුව ද තම ප‍්‍රතිපත්ති පාවා නොදී, පොදු ජන සේවය වෙනුවෙන් ජීවිතය ම කැප කරන ප‍්‍රතිපත්තිගරුක නායිකාවක ලෙස මට කිසි ලෙසකින් හෝ පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන වෙනුවෙන් මාගේ ප‍්‍රතිපත්ති වෙනස් කළ හැකි නොවේ.

ඒ අනුව 2019.11.05  දින මගේ නායකත්වයෙන් යුතුව කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේ දී පන් දහසකට වැඩි නිවහල්, පිරිසිදු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිිකයින් පිරිසක් එක්වී මුළු දුන් ‘‘අපි ශ‍්‍රී ලංකා’’ රැස්වීමේ දී, පක්ෂ ලේකම් ඇතුළු බල ලෝභීන් විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට පාවාදීමට ගත් මේ මහා කුමන්ත‍්‍රණකාරී තීන්දුවට විරෝධය පෑම අපි පක්ෂයට එරෙහිව කළ රහස් කුමන්ත‍්‍රණයක් නොවේ.

පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලන පක්ෂයක, නිල තල ලත් සුළුතරයක් විසින් ගත් තීන්දුවකට බහුතරයේ විරෝධත්වය ප‍්‍රකාශ කිරීමේ සුජාත අයිතිය වරදක් යැයි ඔබ  කියන්නේද?
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුමකම් කිව හැකි කිසිදු සලකුණක සේයාවක් වත්  නොමැතිව, අවම වශයෙන් පොදු සලකුණක් යටතේ හෝ පොදු නාමයක් යටතේ වත් ඉදිරිපත් නොවන, වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකු ජයග‍්‍රහණය කරවීමට ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිිකයින් සහයෝගය ලබා දිය යුතු යැයි යමෙක් කියන්නේ නම්, ඒ කුමන ජයග‍්‍රහණයක් උදෙසා ද?

2019 ජනාධිපතිවරණය පිළිබඳ ‘‘අපි ශ‍්‍රී ලංකා’’ රැස්වීමෙදී ගන්නා ලද ඒකමතික තීන්දුව ක‍්‍රියාත්මක කිරීම සඳහා මා ඇතුළු අප පක්‍ෂ සංවිධායකවරු සෑහෙන පිරිසක් කටයුතු කරන ලදී. ඒ අනුව අප පක්‍ෂයේ ප‍්‍රාදේශීය ප‍්‍රධානීන් විසින් සංවිධානය කළ සම්මන්ත‍්‍රණ කිහිපයක් අමතමින් පොහොට්ටු අපේක්ෂකයා දිනවීමෙන් අප පක්ෂයට සිදු විය හැකි හානිය පිළිබඳ කරුණු පැහැදිලි කළෙමු. එහෙත් කිසි විටෙක එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හෝ වෙනත් අපේක්ෂකයකුට සහාය දෙන ලෙස අපි ප‍්‍රකාශ නොකළෙමු. ඒ සියලු රැස්වීම් අප පක්ෂ නියෝජිතයන් විසින් අප පක්ෂ බැනර යටතේ සිදු කළ රැස්වීම් විය.

එසේ හෙයින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් යුතුව පසුගිය ජනාධිපතිවරණයේ දී අප විසින් පොහොට්ටු අපේක්ෂයා ජයග‍්‍රහණය කිරීමට කටයුතු නොකිරීම වරදක් ද? එය පක්ෂයට ද්‍රෝහිවීමක් ද?  

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් පක්ෂයක වලිගයක් බවට පත් නොකොට, පක්‍ෂය රැක ගතයුතු යැයි යන  දැඩි අධිෂ්ඨානයකින් අතිවිශාල පාක්ෂිකයින් පිරිසක් තවමත් රටේ සිටින බවත්, ඒ ජන පිරිසට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානවත් නායකයා ලෙස නායකත්වය දී, ඔවුන්ගේ මහා ශක්තිය මත, යළි පක්ෂය නිවැරදි මාවතට ගෙන ඒම සඳහා ඔබට අවස්ථාව ඇති බවත්,  දේශපාලන සටන් බිමෙන් සැගව සිටි ඔබ ඒ සඳහා දිරි ගැන්වීම පිණිස, එදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩාංගණයේ දී අප විසින් දෙන ලද දේශපාලන පණිිවිඩය ඔබ තේරුම් නොගත්තේ වෙනත් අදෘශ්‍යමාන හස්තයක් විසින් ඔබව මෙහෙය වූ නිසා දැයි අපට සැකයක් පවතී.

එබැවින් ඔබ හා දයාසිරි ජයසේකර ලේකම්වරයා ප‍්‍රකාශ කරන පරිදි මා එක්සත් ජාතික පක්ෂයට උදව් කරනවා යයි කියන චෝදනාව මා තරයේ ප‍්‍රතික්ෂේප කරමි. වසර 50 කට ආසන්න කාලයක මාගේ දේශපාලන ජීවිතයේ මා සැමදා ක්‍රියාකර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂාව, අභිවෘද්ධිය සහ දියුණුව සඳහා පමණි.  මෙම කරුණ, 08 වතාවක් පක්ෂයෙන් පක්ෂයට සංචාරය කරමින් සිටින පක්ෂ ලේකම්වරයා නොදන්නවා වුවත්, ඔබතුමා එය පැහැදිළිව දන්නවා ඇත.  

අදාළ කරුණු ඔබ අමතක කර ඇත්නම් කෙටියෙන් හෝ සිහිපත් කරනු කැමැත්තෙමි.

1977 එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණයෙන් පසුව, අප පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේදී, අපේ පක්ෂය සහමුලින්ම විනාශ කිරීමේ එ.ජා.ප යේ කුමන්ත‍්‍රණයට හසුු කර ගත් අප පක්ෂයේ නියෝජ්‍ය නායක මෛත්‍රීපාල සේනානායක සහ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ 13 දෙනාගේ කණ්ඩායම, මැතිණිය පක්ෂයේ නායකත්වයෙන් පන්නා දැමීමට ප‍්‍රබල සටනක් දියත් කළ විට, එතුමියගේ නායකත්වය ආරක්ෂා කර, පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සටනේ නායකත්වය ගත්තේ විජය හා මා බව ඔබට අමතක වී නැතැයි සිතමි. ටී.බී. ඉලංගරත්න, හෙක්ට්ර කොබ්බෑකඩුව, වී.ඩබ්. කුලරත්න, රත්න දේශප්‍රිය සේනානායක, කරුණාසේන ජයලත් වැනි ශ්‍රේෂ්ඨ නායකයින්ගේ අනුශාසනා අනුව ඒ සටනෙන් අපි ජය ගෙන පක්ෂය ආරක්ෂා කර ගත්තෙමු.

ඉහත කී කණ්ඩායම එ.ජා.ප යට සහාය දෙමින් සිටි යුගයක, එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහිව ශක්තිමත්ව සටන් කළ නිසා, දැන් ඔබ මට කරන්නාක් මෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම සමහර නායකයින් විජයට එරෙහිව ද සාවද්‍ය චෝදනා එල්ල කර, ඔහු පක්ෂයෙන් පන්නා දැමූ අවස්ථාවේ පමණක් අප අලූත් පක්ෂයක් නිර්මාණය කරගෙන, අපේ සටන ඉදිරියට ගෙන යන්නට ක්‍රියා කළෙමු. ඒ, එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනයට එරෙහිව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොකළ සටන, සෘජු ලෙස ඉදිරියට ගෙනයාමට මිස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි වීමට නොවේ.  

නැවත අවස්ථාව ලැබුණු විගස මා 1991 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී, වසර 16 ක් පරාජය වෙමින් තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, බස්නාහිර පළාත් සභා මැතිවරණය හරහා ජයග‍්‍රාහී මාවතට යොමු කළෙමි.

සසග දුර්වලව  තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මා  විසින් යළි පන ගන්වා,  1994 දී ජයග‍්‍රහණය කරවා, ගෙන ගිය සාර්ථක රාජ්‍ය පාලනය හා දර්ශනයේ ශක්තිමත් පදනම මත, වසර 20 ක් බලයේ සිටි පක්ෂය, 2015 දී පැරදෙන්නට නොදී, පක්ෂ ලේකම්වරයා ජනාධිපති ධුරයට පත් කර පක්ෂයට තවත් වසර 05 කට බලය ලබාදීමට කටයුතු කිරීම මා කළ වරදක් සේ ඔබ දකින්නේද?

සසසග 2005 සිට 2014 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෙන් පවත්වාගෙන ගිය රජය, ජනතා විරෝධී පාලනයක් ගෙන යමින්, රට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විනාශ කරමින් සිටි අවස්ථාවක, රට බේරා ගැනීමට ඉදිරිපත් වන්නට කියා වසර 06 ක් පුරා අප පාක්ෂකයින් සහ මන්ත‍්‍රීවරු  විශාල පිරිසක් ද, සෑම ක්ෂේත‍්‍රයකට ම අයත් බහුතරයක් ද, අඛණ්ඩව මා හට කරන ලද ඉල්ලීම් හේතුකොටගෙන දේශපාලන වශයෙන් නිහඩව සිටි
මට, නැවත රට සහ පක්ෂය බේරා ගැනීමට ක‍්‍රියාත්මක වන්නට සිදුවිය.  පරාජයට යොමු කර, දුර්වල කර තිබුණු අප පක්ෂය යළිත් ජයග‍්‍රාහී මාවතට යොමු කර, ඒ තුළින් පක්ෂය ශක්තිමත් කර ගැනීමේ එකම අරමුණිින් මා මේ කටයුත්තට සම්බන්ධ වූ බව ඔබ නොදන්නවා නම් පැහැදිළිව මතක් කරමි.

සඩග 2015 දී අප පිහිටුවා ගනු ලැබූවේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් නොවේ. පෙර පැවතුණු දුර්දාන්ත පාලනය පරාජය කර, නව දේශයක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් පිහිටුවා ගත් සන්ධාන ආණ්ඩුවකි. එක්සත් ජාතික පක්ෂය මෙන් ම, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, විවිධ ජනවාර්ගික පක්ෂ ප‍්‍රමුඛ, ප‍්‍රබල සිවිල් සංවිධාන ඇතළත් කණ්ඩායම් 49 ක් එය ගොඩ නැගීමට එකට එකතු වූයේ වඩා දීප්තිමත් පාලනයක් බිහිකරගැනීම වෙනුවෙනි.

මා ඇතුළු පක්‍ෂයෙන් පන්නා දමා ඇති සංවිධායකයන් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බවත්, අප  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානිකරන ආකාරයට කටයුතු කරන බව පවසන බැවින් පක්‍ෂයට හානි කළේ මම ද, වෙනයම් කෙනෙක්ද කියා සිතා බැලීම යෝග්‍ය යයි සිතමි.

  1. 1981/82 කාලයේදී මැතිණියගේ ප‍්‍රජා අයිතිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කළ යුගයේ, එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නා දැමීමේ කොන්ත‍්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂ රජයෙන් බාරගෙන කටයුතු කළේ ද,
  2. 2001 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ මාගේ සමගි ආණ්ඩුව පෙරලා දමා, එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීමේ කුමන්ත‍්‍රණය මෙහෙයවූයේ ද, අද ඔබ දණින් වැටී බන්දේසියක් මත තබා අප පක්‍ෂය පාවා දීමට සූදානම් වන මහින්ද රාජපක්‍ෂ නොවේ ද?
    පක්‍ෂයට සිදුකර ඇති හානිය

    මෙම වතාවරණය යටතේ මෑත යුගයේ ඔබගේ ක්‍රියාකරකම් සහ ඔබගේ නායකත්වය යටතේ පක්ෂයට සිදු වී ඇති හානිය පිළිබ`දව ද කරුණු ඉදිරිපත් කළ යුතු යැයි සිතමි.

    -බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ‘‘සිරිකොත’’ කාර්යාලය වෙත පස් වතාවක් ගොඩවූයේ ඔබ මිසක් මා නොවේ.                                    
    -ජනාධිපතිවරණය දිනා ගැනීම සඳහා එජාප නායකයා සමග සම අසුන් ගෙන, වේදිකා මත නැගී, රට වටේ ගමන් කළේත් ඔබ මිස මා නොවේ.                                                      

තමා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසුත් එජාප නායකයාට ‘‘සර්’’ යනුවෙන් ඇමතීමට අවසර ඉල්ලා සිටියේ ඔබ මිස මා නොවේ.  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිඳිමින්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට රටේ අගමැතිධුරය භාර ගන්නා ලෙස හොර රහසේම  17 වතාවක් තමා එතුමාගෙන්  ඉල්ලීම් කළ බවට  රට ඉදිරියේ පුරසාරම් දොඩන ලද්දේත් ඔබ මිස මා නොවේ. ඒ් අනුව එක්සත් ජාතික පක්ෂයට බලයේ සිටීම සඳහා ප‍්‍රවර්ධන නිලධාරියා ලෙස කටයුතු  කළේ ඔබ මිස මා නොවේ.  

2015 දී රාජපක්ෂ සමාගමේ පාලනයෙහි උග‍්‍ර විරෝධියෙකු ලෙස පෙනී සිටිමින්, එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහයෝගය ලැබ, මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වී මාස දෙකක් යෑමට මත්තෙන් ඔබට සියල්ල අමතක ව, රාජපක්ෂ සමාගමේ මහා කුමන්ත‍්‍රණ ජාලයට හසුවී, ඔවුන්ගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියාත්මක වන්නට පටන්ගත්  දින සිට ඔබතුමා ගත් බොහෝ තීරණයන් පක්ෂයේ මෙන් ම අප මාතෘ භූමියේ උන්නතිය සඳහා නොව, විනාශය සඳහා වූ බව මම හොඳාකාරවම දුටුවෙමි.

සග 2015 ජයග‍්‍රහණයෙන් ලබා ගත් ශක්තිය හරහා දුර්වල වී තිබුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යළිත් ශක්තිමත් කරගෙන, පක්ෂය වේගවත්ව ඉදිරියට ගෙන ගිය අවස්ථාවේ, රහසිගතව පොහොට්ටුවේ නියෝජිතයින් ලෙස කටයුතු කළ අප පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඔබ රවටා ගෙන, ඔබ ලවා පක්‍ෂයේ ඉදිරි ගමනට දිගින් දිගටම බාධා කළ බව නොරහසකි. අප විසින් සාර්ථකව සිදු කළ පක්‍ෂය යළි ගොඩනැගීමේ කටයුත්ත අතරමග නවතා දැමීමට ඔබ නියෝග කළ හැටි ඔබට මතක ඇතැයි සිතමි. එදා එම ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරියාකාරව සිදු කිරීමට ඉඩ ලබා දුන්නේ නම්, අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වැනි උතුම් පක්ෂයකට තවත් පක්ෂයක වලිගයක් වන්නට අවශ්‍ය වන්නේ නැත.

සසග පක්ෂයේ විනය නැත්තටම නැති විය. 2015 දී අප පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත‍්‍රිීවරුන් 50 දෙනෙකුට වැඩි පිරිසක් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා, එකී පක්ෂය ප‍්‍රවර්ධනය කිරීමේ කටයුතු සිදු කළ ද, ඔවුන් කිසිවෙකුට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට ඔබට නොහැකි විය.

සසසග එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටිමින් මහින්ද රාජපක්ෂ රජයට පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත දී බලවත් ලෙස පහර ගැසූ දයාසිරි ජයසේකර අද අප පක්ෂයේ ලේකම් ලෙස ඔබ විසින් පත්කරගෙන සිටී. මෙම දයාසිරි ම, මා සහ පක්ෂයෙන් පන්නා දමා තිබෙන සංවිධායකවරුන් යු.එන්.පී කාරයන් ලෙස මාධ්‍ය සන්දර්ශන හරහා චෝදනා කිරීම මොහුගේ තවත් එක් විකට ජවනිකාවක් ලෙස මේ වන විට ජනතාවට ඒත්තු ගැන්වී හමාරය.  

සඩග ඔබගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මුල සිටම කැපවීමෙන් කටයුතු කළ මා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය නායකයින් කොන් කර, ඔබ ගේ නායකත්වයෙන් 2018 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට රටේ එකම පළාත් පාලන ආයතනයකවත් දිනා දීමට ඔබට නොහැකි විය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ ලැබුණු ලැජ්ජාසහගතම පරාජය වනු ඇත.

ඩග මාගේ නායකතවයේ ශක්තිමත් පදනම මතින් 1994 වසරේ සිට විසි පස් වසරක් පුරා එක දිගටම ශ‍්‍රී  ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ ජනාධිපති ධුරය, ආරක්ෂා කර ගැනීම තබා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබට ඉදිරිපත්වීමට වත් නොහැකිවුවා පමණක් නොව, 2019 ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙනත් අයෙකුටවත්  ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව පවා ඔබ අහිමි කළේය.

2018 පලාත් පාලන මැතිවරණ පරාජය, අප පක්ෂ නායකත්වය විසින් සිතා මතා සිදු කරවන ලද පරාජයකි. එම පරාජයෙන් පසු පොහොට්ටුව සමග සන්ධානගත නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරියට යා නොහැකි බවට ප‍්‍රවාදයක් නිර්මාණය කළේ ය.

2018 වසරේ මැයි මස පැවැත්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී අපි දිගින් දිගටම යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග සන්ධානගත නොවී ස්වාධීනව කටයුතු කළ යුතුය යන්නයි. අපගේ මතය ඔබට දරාගත නොහැකිව 2018 ජූනි 02 වන දින මා ඇතුළු එම මතය දැරූ 16 දෙනෙක් ඔබ විසින් දේශපාලන මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබිණි. ඉන් පසු ඔබට නිල වශයෙන් අපගේ අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබුණු හෙයින් 2018 සහ 2019 වසරවල දී මා ඔබට ලිපි හතරක් ලිවීමි. එම සෑම ලිපියකින් ද ප‍්‍රකාශ කළේ ද ඒ අදහස මය.
පක්ෂය ආරක්ෂා කරගෙන නැවත පක්ෂය පෙර පැවති අභීත තත්ත්වයට පත් කර ගැනීමට යෝජනා කළවුන් පක්ෂයෙන් පන්නා දැමීම කෙතරම් ඛේදවාචකයක් ද?

තම පක්ෂය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වන පක්ෂ සාමාජිකයන් පක්ෂයෙන් පන්නා දැමූ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් අප රටේ පමණක් නොව වෙනත් කිසිදු රටක වත් තිබේ දැයි මම නොදනිමි.

රාජපක්ෂ යුගයේ අප පක්ෂය තුළ ඇති කළ අවුල්සහගත තත්ත්වය, ඔබ සහ ඔබ ලේකම්වරයා විසින් සියක් වාරයකින් වැඩි කර තිබේ.
එදා අප දැරූ මතය සත්‍යය බව අද වන විට බොහෝ දෙනෙකුට අවබෝධ වී හමාරය. ඔබ සහ ඔබ ලේකම් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධානීන් කිසිවෙකුට මෙම මැතිවරණයේ දී ජයග‍්‍රහණය කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවට පොහොට්ටු ප‍්‍රධානීහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් සිටිති.

දේශපාලන සරණාගතයෙක්..? 

එදා අප ප‍්‍රකාශ කළ සත්‍යය, කුඩා දරුවකුට පවා අවබෝධ වුවත් බලකාමයෙන් පෙළෙන ඔබලාට අවබෝධ නොවීම අප පක්ෂයේ අවාසනාව හැර වෙන කුමක් ද?
අප ඉල්ලා සිටි පරිදි ශ්‍රී.ල.නි.පය ශක්තිමත් කරනවා වෙනුවට පොහොට්ටු පක්ෂයට පාවා දීම නිසා අද ඔබලා දේශපාලන සරණාගතයන් බවට පත්ව සිටී. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි උතුම් ජාතික වස්තුවකට සිදු කළ අපරාධයට ලබා දුන් දෛවයේ සරදමක් ද?

පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට යමු ය යනුවෙන් එදා අප ප‍්‍රකාශ කළ විට අප පක්ෂයෙන් පන්නා දමනු ලැබීය. එහෙත් අද වන විට එම සත්‍යය ඔබලාටම අවබෝධ වී ඇති බවක් පෙනේ.

 ජයග‍්‍රහණයෙන් පසු අප රට සහ පක්ෂය ගොඩනැංවීමට තිබූ ස්වර්ණමය අවස්ථාව ඔබලාගේ බලලෝභීත්වය නිසා, රාජපක්ෂ කුමන්ත‍්‍රණයට හසුව විනාශ කර දැමීය. රජයේ අනිත් පාර්ශවය ද ඉන් පසු යහපාලන රජයේ විනාශයට දායක විය. ඔබලා කෙලෙස ජනතා අභිලාශයන් සුන්නද්දූලි කිරීමට ක්‍රියා කළත්, අපි එදා මෙන් ම අදත් නොසැලී එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

අප රටේ ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ලෙස හැත්තෑ වසරක් දිදුලමින් තිබුණු අප පක්ෂය, මෙතෙක් කල් සන්ධානගත වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය යටතේ පමණි. එහෙත් අද අප පක්ෂය අන්ත ප‍්‍රපාතයට ඇද දමා, එය වෙනත් පක්ෂයක සුවච කීකරු වහලෙකු බවට ඔබලා විසින්  පත්කර තිබේ.

අප පක්ෂය සම්පූර්ණයෙන් පසෙක ලා පොහොට්ටු පක්ෂ සලකුණෙන්, ඔවුන්ගේ තනි නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර ඇති බව මාධ්‍ය මගින් දැනගත්තෙමි. පක්ෂයේ ජේෂ්ඨයින් වන අපට ඒ පිළිිබඳ මෙතෙක් කිසිදු දැනුම් දීමක් හෝ සිදු කර නැත.

පොහොට්ටු පක්‍ෂ නායකයන් සියලු බලතල ඔවුන් අත රඳවාගෙන ඔබට නාමික සභාපති ධුරයක් ලබා දී තිබේ. ඒ අනුව ඔබට අපේ පක්‍ෂය හෝ පාක්‍ෂිකයන් ආරක්‍ෂා කිරීමට කිසිදු බලයක් නොමැති බව පැහැදිලිය.

2019 ඔක්තෝබර් මස අත්සන් කළ ගිවිසුම  මෙන් ම, ඔබලා විසින් මෑතකදී ගත් ඉහත තීන්දුව හරහා අප ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඝාතනයට ගොදුරු කර තිබේ.

ඇත්ත වශයෙන්ම 70 වසරක ඉතිහාසය පුරා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයන් මේ තරම් ද්‍රෝහිකම් හා කෙණෙහිලිකම්වලට භාජනය වූ තවත් අවස්ථාවක් තිබේද?

එබැවින් පක්ෂයේ ද්‍රෝහීන් කවුදැයි අප පාක්ෂිකයින් ඉතා ඉක්මනට තීන්දු කරනු ඇත.

මා එක්සත් ජාතික පක්ෂය සමග කළා යැයි කියන ගනුදෙනුවෙන් මා එක්සත් ජාතික පක්ෂයෙන් හෝ යහපාලන ආණ්ඩුවෙන් ලබා ගත් කිසිම දෙයක් නැත. ඔබතුමා වත් මට ලබා දුන් කිසිවක් ඇත්දැයි ඔබට සිහිපත් කළ හැකි ද?

මුල මතක නැද්ද

එහෙත් වසර පහකට ආසන්න කාලයක් පුරා ජනාධිපතිවරයෙකුට හිමි සියලූ වරප‍්‍රසාද ලැබීමට ද, විශ‍්‍රාමික  ජනාධිපතිවරයෙකු වශයෙන් මහා මන්දිර ඇතුළු වරප‍්‍රසාද රාශියක් ජීවිත කාලය පුරා භුක්ති විඳීමට ද  අවස්ථාව හිමිවූයේ ඔබට හා ඔබ පවුලේ සමාජිකයන්ට මිස මට හෝ එදා ඔබ වෙනුවෙන් කැපවූ  කිසිවෙකුටත්  නොවන බව ඔබට අමතකවීම ද මට මහත් පුදුමයකි.

ඒ අතරම අද මට චෝදනා මුඛයෙන් කතා කරුණු ලබන, 2015 ජනාධිපතිවරණයේ දේශපාලන වේදිකාවේ දී ඉතාම අශිෂ්ට ලෙස ඔබතුමාට උසුලූ විසුලූ කරමින් නින්දා අපහාස කළ, එදා සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ පක්ෂයේ වත්මන් ලේකම්වරයා ඇතුළු අප පක්ෂයේ නායකයින්ට එජාප- ශ්‍රී.ල.නි.ප සන්ධාන රජයෙන් ඇමතිකම්, උසස් නිලතල ලබා නානාප‍්‍රකාර වරප‍්‍රසාද රාශියක් භුක්ති වි`දීමට හැකි විය.

එදා එක්සත් ජාතික පක්ෂය සම`ග මා ඇති කරගත් එකඟතාවයෙන්,  අද මා ලබන එකම තිලිණය ඔබ විසින් මෙහෙයවනු ලබන්නන්ගේ අවලාද, නින්දා  හා අපහාස කිරීම පමණක් බව  මම ඔබට පවසමි.

එහෙත් සියලූ අභියෝග මධ්‍යයේ පවා මට තවමත් මාගේ හෘදය සාක්ෂිය ඉතුරු වී තිබේ. එය මා සතු වටිනාම වස්තුව ලෙස මම සලකමි.

ස්වාමියාව මරලා දැම්මා 

ජිවිතයේ ළමා වියේ දී පියා ඝාතනය වීමෙන් ද, තුරුණු වියේ දී, මවගේ ප‍්‍රජා අයිතිය අහෝසි කර අනේක විධ හිංසනයන්ට ලක්වීමෙන් ද, අනතුරුව ආදරණීය ස්වාමියා දේශපාලන පළිගැනීීම් මත සිරගත කිරීමෙන් ද, පසුව ඔහු ඝාතනය කිරීමෙන් ද, අනතුරුව මගේත් දරු දෙදෙනාගේත් ජීවිතාරක්ෂාව පතා නොරටක සැඟවීමට සිදුවීමෙන් ද, එයින් දස වසකට පසු අප දේශය, ජනතාව සහ ජාතික සමගිය වෙනුවෙන්  ඇසක් අහිමි වීමෙන් ද, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වන මට අහිමිවීමට තවත් දෙයක් ඉතුරු වී නොමැත.

තවද අගමැති පියෙකු හා අගමැති මවක ගේ ලොව සිටින එකම දියණියක වී මහ ඇමතිනියක ලෙස, අගමැතිනියක ලෙස හා දෙවරක් ම රටේ ජනාධිපති පදවිය ද හොබවමින්, අපරාජිත දේශාපාලන ගමනක උරුමයක් ඇති මට තවත් දිනාගැනීිමට දේශපාලන ජයග‍්‍රහණයන් ද ඉතුරුව නොමැත.

මා විසින් ලෝකයේ විවිධ රටවලින්, රාජ්‍ය නායකයින්ගෙන් මෙන් ම ප‍්‍රබල ජාත්‍යන්තර සංවිධානවලින් මා ලබා ගත් ගෞරවය ඔබලාට උදුරාගත හැකි නොවේ.
මාගේ සහෝදරිය, සහෝදරයා, මම සහ මාගේ දරු දෙදෙනා ලාංකීය දේශපාලනඥයින්ගේ දරුවන් අතුරින් උසස්ම අධ්‍යාපන සුදුසුකම් සහිත වූවෝ වෙමු. එය ද කිසිවෙකුටවත් උදාරාගත නොහැකි බව මතක් කරමි.

ගරු සභාපතිතුමනි,

මාගේ දෙමාපියන්, සහෝදරිය, සහෝදරයා සහ මම, අප පවුල සතු අක්කර දහස් ගණනක් ඇතුළු වත්කම් රාශියක් පොදු ජන සේවය වෙනුවෙන් කැප කළා මිස, පොදු ජනතාවගේ සත පහක වත් වත්කමක්  සොරකම් නොකළ බව ද පවසන්නේ මහත් අභිමානයෙනි.

එනිසා දෙමාපියන්ගෙන් මට උරුම වූ වටිනාම වස්තුව වන ප‍්‍රතිපත්තිගරුක භාවය, අවංක බව, විනයගරුක බව මෙන් ම නොසැලෙන ආත්ම ශක්තිය මතින් සිදු කරන ජනතා සේවය පුංචි මිනිසුන්ගේ බාධාවලින් විනාශ කළ හැකි නොවේ. මා මීට වසර 47කට පෙර ආරම්භ කළ ජනතා සේවය ,  ඕනෑම බාධාවක් බිඳ ගෙන ඉදිරියටත් අඛණ්ඩව සිදු කිරීමට කැප වෙමි.

එබැවින් මාගේ දේශපාලන පෞරුෂය සහ අනේක දුක් විඳ මා දිනාගෙන ඇති ජනතා විශ්වාසය විනාශ කළ හැකි යැයි ඔබතුමා සහ ඔබේ සහචරයන් විශ්වාස කරන්නේ නම්, ඒ පුහු සිහිනයක් බව කියා සිටිමි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මාගේ ඇති උරුමය හෝ එය සමග මගේ ඇති අවියෝජනිය බැඳීම මෙන්ම, අත්තනගල්ලේ ජනතාව ඇතුළු රට පුරා විසිරී සිටින අවංක ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්, බණ්ඩාරනායකවරුන් සමග ඇතිි ආත්මීය බැඳීම ද ඔබට සහ ඔබේ සහචරයන්ට අවසන් කළ නොහැකි බව  සිහිපත් කරනු කැමැත්තෙමි.

පක්ෂය විනාශ කිරීම වේදනාවක් 

වසර පනහකට ආසන්න මාගේ ක්‍රියාකාරී දේශපාලන ජීවිතය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට මෙන් ම, පක්ෂයට විශාල ජයග‍්‍රහණ ලබා දීමට දායක වීමට හැකි වීම පිළිබඳ ව නිහතමානීව ආඩම්බර වෙමි. එහෙත් අද අප ආදරණීය පක්ෂය බරපතල ලෙස විනාශයට ගොදුරු කර තිබීම දැකීම, මා මෙන් ම පක්ෂයට ආදරය කරන සියලු දෙනාට මහත් වේදනාවකි.

අප ගොඩනැගීමට වෙර දැරූ පාලනය හරහා තම දූෂිත හා ආත්මාර්ථකාමී අරමුණු ඉටුකර ගත නොහැකි බැවින්, ඇතැම් කූඨ දේශපාලන නායකයන් විසින් එම උතුම් ව්‍යාපෘතිය විනාශ කර දමා, 2015 දර්ශනය වෙනුවෙන් තවමත් පෙනී සිටින මා වැනි චරිත දේශපාලන වශයෙන් විනාශ කිරීමේ උත්සාහයක යෙදී සිටිති.

මාගේ ප‍්‍රතිපත්තිගරුක බවට ද, කිසිදා නොවෙනස් වන අවංක බවට ද, ඍජු සහ විනයගරුක බව මත පිහිටා ඇති මාගේ ආත්ම ශක්තියට ද බිය වන්නේ, රාජ්‍ය බලය තමාට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගෙන සිටින නායකයින් යැයි කියාගන්නා පුංචි මිනිසුන් පිරිසක් පමණි.

අප පක්ෂය වැනි උතුම් ප‍්‍රතිපත්ති සහිත, ‍ශ්‍රේෂ්ඨ පක්ෂයක් පහසුවෙන් විනාශ කළ හැකි වෙතැයි අපි විශ්වාස නොකරමු. අප මාතෘභූමියේ ජීවත් වන යුක්තිය, සාධාරණත්වය, මනුුෂ්‍යත්වය ගරු කරන, දූෂණය පිටු දකින බහුතර ජනතාවකගේ සිහිනය සැබෑකරගත හැකි ප‍්‍රධාන ප‍්‍රවාහය බවට යලිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කර ගැනීම පිණිස උගත්, බුද්ධිමත්, වැදගත්, පිරිසිදු තරුණ නායකයන් බිහි වන දිනය වැඩි ඈතක නොවන බව අපගේ විශ්වාසයයි.

ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කතුවරයෙකු වන චින්ගිෂ් අයිත්මතෝව් ප‍්‍රකාශ කරන පරිදි :- ‘‘උයන් පල්ලාට උයනේ ඇති සියලූ රෝස මල් විනාශ කළ හැකි වුව ද, මල් පිපෙන වසන්තය උදාවීම නම්  වළක්වාලිය නොහැකිය ’’ යන ප‍්‍රකාශය මම දැඩිව විශ්වාස කරමි.    

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සදා ජය!
මීට විශ්වාසී,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග