නිරෝධායනයට මුවාවෙලා වෙන වෙන සෙල්ලම් එපා - කුමාර් ගුණරත්නම්

නිරෝධායනයට මුවාවෙලා වෙන වෙන සෙල්ලම් එපා - කුමාර් ගුණරත්නම්

තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමගුල අවස්ථාවේ සහ ඔහුගේ පුත්‍රයා දේශපාලනයට හඳුන්වාදීමේ අවස්ථාවේ නොතිබූ නිරෝධායන නීතිරීති සාමකාමී උද්ඝෝෂණයකට එරෙහිව ක්‍රියාත්මකවූයේ කෙසේද යන්න තමන් ප්‍රශ්න කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් කියා සිටියි.

පසුගිය 09 වැනිදා ඇමරිකානු තානාපති කාර්යාලය අසල පැවැත්වූ සාමකාමී විරෝධතාවය අවස්ථාවේ පොලීසිය විසින් ඉතා මිලේච්ඡ ලෙස පහරදී විරෝධතාව මර්ධනය කිරීමට එරෙහි නිහඬ සාමකාමී විරෝධතාවයක් අද(16) කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.

‘අපේ නිහඬ විරෝධය සියලුම සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් පවත්වද්දි පොලීසිය එම නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පහරදුන්නා. තොණ්ඩමන්ගේ අවමගුලේදී සහ ඔහුගේ පුත්‍රයාගේ දේශපාලන හඳුන්වාදීමේදී එවැනි නීතිරීති ක්‍රියාත්මක වුනේ නෑ. ආණ්ඩුව පෙන්වාදුන්නේ ඔවුන් ගමන් ගනිමින් ඉන්න මර්ධනකාරී ක්‍රියාපිළිවෙතයි’

විරෝධතාව අතරේ අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම එලෙස අදහස් දැක්වනු ලැබීය. එසේම කොරෝනා ව්‍යාප්තිය අතරේ නිරෝධායන නීතිරීතිවලට මුවාවී මර්දනකාරී ක්‍රියාවන්ට එරෙහිව තමන් දැඩිසේ විරෝධය දක්වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

‘අපි දන්නවා කොරෝනා වලින් ආරක්ෂාවීමේ වගකීම සහ ඒවා අපි ඉතා හොඳින් පිළිපදිනවා. ජනතාවගේ නිදහස් ප්‍රකාශන අයිතිය වලක්වන්න කිසිම ආණ්ඩුවකට බෑ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්න, මර්ධනයට විරුද්ධ පිරිස් තමයි අද මේ විදිහට එකතුවෙලා විරෝධතාවය දක්වන්න’'