මිලියන 100ක් ඉල්ලා දිලිත් ජයවීරගෙන් එන්තරවාසියක්!

මිලියන 100ක් ඉල්ලා දිලිත් ජයවීරගෙන් එන්තරවාසියක්!

ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් මෙන්ම මාධ්‍ය ආයතන කිහිපයකම ප්‍රධානියෙක්ද වන දිලිත් ජයවීර තමන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකරනු ලැබූ බව පදනම් කරගෙන රුපියල් මිලියන 100ක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. ඒ Twitter සමාජ ජාලයේ පරිශීලනය කරන කාන්තාවකට එරෙහිව වන අතර, ඇය විසින් තැබූ ටිවිටර් සටහනක් නිසා තමන්ගේ කීර්තිනාමයට සිදුව ඇති හානිය පදනම් කරගෙන ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිලිත් ජයවීර ඉල්ලා තිබේ.

පසුගිය කාලය පුරාම වත්මන් රජය විසින් දිගින් දිගටම සමාජ ජාලයන් ඔස්සේ රජය විවේචනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබූ අතර, ප්‍රකාශන නිදහස සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් එයට විරුද්ධව මේ වනවිට නිදහස් සමාජ ක්‍රියාකාරීන් විවිධ ආකාරයේ විරෝධතාද එල්ල කරමින් සිටිති. එවැනි පසුබිමක පසුගිය මැතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියාකරන ලද පුද්ගලයෙක් වන දිලිත් ජයවීර තමන්ගේ කීර්තිනාමය සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය යොමු කිරීමද පුදුමයට කාරණයක් නොවේය.

EXK1OQWWAAMv1Gj

කෙසේ වෙතත් පදනම් විරහිතව පුද්ගලයන්ගේ චරිත අලලා සමාජ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම සාමාජ ජාල ආචාර ධර්මවලට මෙන්ම මෙරට නීතිය හමුවේද වරදක් බව සැකයක් නැත. චෝදනා කිරීමට සහ විවේචනය කිරීමට මාධ්‍යයක් නොමැති තැන ලොව පුරා සමාජ ක්‍රියාකාරීන් ඒ සඳහා මෑතක සිට සමාජ මාධ්‍ය භාවිතා කරන නමුත් එවැනි අවස්ථාවලදී සාධක වලින් සහ සාක්ෂි වලින් සන්නද්ධව චෝදනා කිරීම නිසා එවැනි චෝදනා පලදැරූ අවස්ථාද එමටය.

dilith

ලංකාවේ ඇතැම් පුද්ගලික මෙන්ම රාජ්‍ය මාධ්‍යද කිසිඳු පදනමක් නැතිව පුද්ගලයන්ගේ චරිතවලට මඩගසමින් තමන්ගේ මල්ල සරු කරගන්නට හෝ ජනප්‍රියත්වය වැඩිකරගන්න උත්සහ කරන වකවානුවක එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතියේ සහය පතන්නන්ට දිලිත් ඉතා හොඳ උදාහරණයක් ලබාදී ගල්ලෙනේ දොර බිඳ දමා ඇත. දැන් ඕනෑම පුද්ගලයෙක්ට එරෙහිව උදෑසන පත්තර විස්තරයේ සිට රාත්‍රී පුවත් දක්වා පදනම් විරහිතව මඩගසන්නාවූ මෙන්ම සිය පුද්ගලික දේශපාලන වුවමනාකම් නිසා ජාතින්,ආගම් අතර ගැටුම් ඇතිවන පුවත් හා ප්‍රකාශ කරන සක්කිලි මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සහ මාධ්‍යකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට දැන් හොඳ  වේදිකාවක් දිලිත් විසින් විවෘත කර දී තිබීම පැසසිය යුතුය.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර දිලිත්ට එරෙහිව කීර්තිනාමයක් සිදුකර ඇති බවට දිලිත් විසින් මිලියන 100ක එන්තරවාසි කාන්තාවකට යවද්දී පහත වීඩියෝව නරඹා දිලිත් විසින් තමන්ගේම නමට එන්තරවාසියක් යවාගත්තත් ගැටළුවක් නැති බවද සහතිකය.