කොරෝනා රෝගීන් බිංදුවටම බස්සන්න බෑ - කොරෝනා එක්කම ටික කාලයක් ජීවත්වෙන්න වේවි

කොරෝනා රෝගීන් බිංදුවටම බස්සන්න බෑ - කොරෝනා එක්කම ටික කාලයක් ජීවත්වෙන්න වේවි

කොරෝනා රෝගීන් සංඛ්‍යාවා බිංදුව දක්වා අඩුකිරීමට තවමත් හැකියාව නැති බවත්, තර්කානුකූලව සලකා බලන විට රෝගය පාලනය කරමින් ජන ජීවිතය නැවත යථා තත්වයට පත්කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ පවසා තිබේ.

"ලංකාව විතරක් නෙවෙයි, වෙනත් රටවල් පවා මුලින්ම සිදුකරන්නේ කොරෝනා අධි වසංගත තත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය කරන එකයි. තාමත් මේ රෝගයට එන්නතක් හෝ වෙනත් ඖෂධයක් හොයාගෙන නෑ. අපේ උත්සහය වෙන්නේ හැකිතාක් රෝගීන් සංඛ්‍යාව අඩුකරන්න. ඒ හරහා රෝගයේ ව්‍යාප්තිය පාලනය කරන එක සිද්ධකල යුතුයි. සියලුම පාර්ශවවල මැදිහත්වීමෙන් මේ වෙද්දි අපිට මේ වසංගතය පාලනය කරන්න පුළුවන් මට්ටමට ඇවිත් තිබෙනවා"

මේ වනවිට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගොස් ඇති අතරම, සම්පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් ඇත. තවත් රෝගීන් 494 දෙනෙක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර, එයින් බහුතරයක් නාවික හමුදා සාමාජිකයන් ය. 

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය පැනවීම ලිහිල් කර ඇති අතරම යම් කිසි කාලයක් යනතෙක් ජනතාවට කොරෝනා වසංගතය සමග ජීවත්වෙමින් එයින් ආරක්ෂාවීමට සිදුවන බව පැහැදිලිය.