වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම : තීරණයට එරෙහිව පෙත්සමක්

වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම : තීරණයට එරෙහිව පෙත්සමක්

පස් හා වැලි ප්‍රවාහනය කිරීම සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 27 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ එහි කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 27 වනදා යළි කැඳවන ලෙසයි.

මේ හේතුවෙන් ගංගාවල පස් කැපීම හා කැණීම් ඉහළගොස් ඉවුරු ඛාදනය වීමේ බරපතළ අවදානමක් මතු වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් මේ හරහා දැඩි පාරිසරික විනාශයක් රට තුළ උද්ගත වන බවද සඳහන් කළේය.

එබැවින් වැලි හා පස් ප්‍රවාහණය කිරීම සඳහා මෙතෙක් පැවැති බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය එම්.එම්. චන්ද්‍රසේන ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් හා භූ විද්‍යා පතල් කාර්යාංශය නම් කර තිබුණි.