පාස්කු ප්‍රහාරය ගැන තවත් රහස්‍ය වාර්තාවක් CIDයට ගිහින්

පාස්කු ප්‍රහාරය ගැන තවත් රහස්‍ය වාර්තාවක් CIDයට ගිහින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පසුගිය දිනෙක බිෂොප් පැලස්හිදී අගරදගුරු මැල්කම් රංජිත් මුණ ගැසී තිබේ. ඒ හමුවේදී පාස්කු ප්‍රහාරය හා වෙනත් දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අදාළව රහස්‍ය තොරතුරු රැසක් සහිත ලිපියක් අගදරගුරුතුමන් විසින් නුවන් වෙදසිංහ මහතාට භාරදී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට අගරදගුරුතුමා විසින් භාරදෙන ලද පිටු 38කින් සමන්විත ලිපියේ තොරතුරු මත මේ ලිපිය පෙළගැසෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ සිට තවත් රාජ්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන් මෙන්ම හිටපු මැති ඇමතිවරුන්ගේද නම් සඳහන් වන එම ලිපියේ තොරතුරු ඇසුරින් මේ ලිපිය සැක සේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූ 2019.04.21 දිනට මාසයකට පෙරාතුව මෙකී පුද්ගලයා විසින් එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධීකරණ නිලධරි සමරක්කොඩි යන අයට දුරකතන අංකය (0772508500) එවකට සිටි ගුවන් හමුදාපති කපිල ජයම්පති (0772229000) එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර (0718592020) බස්නාහිර පළාතේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ (0718591008) කොළඹ දිසාව හැර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක (0718591985) බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් (0718591017) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර (0718591959) යන පිරිසට දැනුම් දුන් බව උක්ත ලිපියේ සඳහන්ව තිබේ.

මෙහිදී ලියුම්කරු අවධාරණය කරනුයේ මෙසේ තොරතුරු ලබාදී තිබියදී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොකිරීම පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඔවුන් ක්‍රියාකර නැති බවය. මෙම ලිපියේ සඳහන් වන ආකාරයට එවකට හිටපු පොලිස්පතිවරයා වන පූජිත් ජයසුන්දර විසින් ත්‍රස්ත ප්‍රහාරයන් සිදුවීම සම්බන්ධයෙන් කොළඹ දිසාවේ නිලධාරීන්ට යැව්වද නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර ඇතුළු රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා නොයැවීම සම්බන්ධ විමර්ශනයක් සිදු කළ යුතු බව තොරතුරුකරු කියයි.

එවකට සිටි බුද්ධි අංශ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට පොලිස්පති පූජිත් ජයසුන්දරට දුන් තොරතුරු අනුව ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ්ට දුන් තොරතුරු අනුව ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ්ට තොරතුරු දන්වා තිබුණද ඔහු ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැත. ලිපියේ සඳහන් වන ආකාරයට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිසිවකු මෙම කාර්යයට අදාළව සේවයේ යොදවා නැති බැවින් ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුවිය යුතු බවට යෝජනා කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු කිසිවක් ගැන තමන් දැනුවත් වී නොසිටි බවය. මෙම ලිපියේ සඳහන් වන්නේ නම් එවකට සිටි බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ආරක්ෂක කවුන්සිලයේදී පැය භාගයක් පමණ කාලයක් ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට ජනපතිට තොරතුරු අනාවරණය කර ඇති බවය.

මෙම ලිපියෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යෝජනා කරනු ලබන විමර්ශනයන් කීපයක්ද වේ. පාස්කු ප්‍රහාරක සහරාන් ඇතුළු කණ්ඩායම රෝ සංවිධානයේ ග්‍රහණයට නතුවී සිටියේද? සහරාන්ගේ සංවිධානය තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වීද? සහරාන්ගේ සොහොයුරු රිල්වාන් සිදු කළ බෝම්බ පිපිරවීමකදී තුවාල ලබා කොළඹ ඩර්ඩන්ස් රෝහලේ රහසිගතව ප්‍රතිකාර ලබාගෙන ඇතිබවත් මහාචාර්ය රිස්වි ෂෙරිෆ් ඔහුට එහිදී ප්‍රතිකාර කර තිබෙන බවත් ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවද ලිපියේ සඳහන් වේ.

කටුවාපිටිය දේවස්ථානය අසල ගැවසුණු යාචකයෙකු සතුව ලිපියක් තිබී ඇති බවද එය නාවික හමුදාව විසින් ලබාගෙන ඇති බවත් ඒ ගැන විමර්ශනයක් පැවැත්විය යුතු බවත් කොච්චිකඬේ දේවස්ථානය අසල නවතා තිබූ වාහනයේ අඩංගුව තිබූ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව නිසි පරීක්ෂණයක් කර නැති බැවින් ඒ ගැනද නැවත පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ලිපියෙහි සඳහන්ය.

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම් හලේදි බෝම්බ පිපිරීමෙන් මියගිය අබ්දුල් ලතිෆ් ජමිල් මොහොමඞ් නමැත්තා 2008 වර්ෂයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කර යවා ඇති බවත් එසේ වූයේ ඇයිද යන්න ගැන විමර්ශනයක් සිදුකළ යුතු බවද ලිපියෙන් අවධාරණය කෙරේ.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස ගැනෙන සහරාන්ගේ සංවිධානයේ සාමාජිකයන් පිළිබඳවත් ඔවුන්ගේ නම් ගම් මෙන්ම දුරකතන අංකයන්ද මෙම ලිපියේ සඳහන් වන අතර ඔවුන් පිළිබඳවත් ඔවුන්ගෙන් සමහරෙකුට හදිසියෙ මුදල් ලැබුණු ආකාරයත් සොයා බැලිය යුතු බව අන්තර්ගතය. එකී පුද්ගලයන්ගේ නම් සහ දුරකතන අංකයන් සඳහන් නොකරනුයේ ඉදිරි විමර්ශන සිදුවේ නම් ඒවාට අගතියක් සිදුවිය හැකි බැවින්ය. සහරාන් අන්තවාදී දේශන පැවැත්වීම බේරුවල පෙරේරා පාරේ කුඩා පල්ලියේදී අන්තවාදී දේශන පැවැත්වූ බවට එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට දුරකතනය මගින් දැනුම් දුන්නද ඔහු එය නොසලකා හැර ඇත්තේ එය තමන්ට අයත් වැඩක් නොවන බව පවසමින් බව ලියුම්කරු සඳහන් කර තිබේ.

මෙම ලිපියේ සඳහන් තොරතුරු දෙකක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ඇති බවට ff තොරතුරු දෙකක් මාධ්‍ය ඔස්සේ පළවී තිබේ. සහරාන්ට කතෝලික ජනතාව සමග තිබූ වෛරයට හේතු පිළිබඳ සොයා බැලීම යන කාරණාව මින් එකක් වන අතර සහරාන් කතෝලික ජනතාවට වෛර කළේ ඇයිද යන හේතු පරීක්ෂකයන් වෙතින් ලැබ මාධ්‍ය ඔස්සේ පළවිය. අනෙක් විශේෂිත කාරණාව වන්නේ මාවනැල්ල මහජන බැංකුවේ ගිණුම් අංක 06920010036326 ඇතුළු තවත් ගිණුම් අංක තුනක හා මාවනැල්ල අමානා තකෆුල් බැංකුවේ චෙක්පත් අංක 38659,413059,435513,433596 පිළිබඳව විමර්ශනය කළ යුතු බවය. ඒ සම්බන්ධයෙන්ද පසුගිය දිනවල මාධ්‍යයේ තොරතුරු පළවී තිබිණි. එම ගිණුම්වලට සහරාන් විසින් මුදල් එවා තිබුණේ මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ පුද්ගලයන්ගේ නඩු වෙනුවෙන් වියදම් කිරීමට බවටද ප්‍රවෘත්ති පළවිය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් නමැත්තා සමග ඇමතිවරුන් ආණ්ඩුකාරවරුන් සම්බන්ධතා පැවැත්වූ බවට එකලද විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවූ අතර ඒ සම්බන්ධයෙන්ද මෙහි සඳහන් වේ. එහිලා විශේෂිත කරුණ වන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ්ටද සහරාන් කල්ලියේ අය දුරකතන ඇමතුම් ලබාගෙන තිබෙන බවය.

බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි ජනක විතානගේ සහ සපොඅ කපිල ප්‍රේමදාස වැනි නිලධාරීන්ගේ ක්‍රියාවන් නිසා සහරාන් කල්ලියේ සහචරයන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩක් ලැබුණු බවද එසේ වීමට වන හේතුද මේ ලිපියෙන් තොරතුරු දක්වා තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ඔහුගේ රජයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිව සිටි ඒ.එම් හිස්බුල්ලාට මහවැලි අධිකාරියට අයත් ඉඩම්වලින් වරින් වර අක්කර 50ක් ලබාදී ඇති බවත් ඒ මඩකළපුවේ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට බවද ලිපියේ සඳහන්ය.

එවකට වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙයට උදව් කර ඇති බවද ලිපියෙන් කියැවේ. මෙම ලිපියේ පාස්කු ප්‍රහාරයෙන් බැහැර සිදුවීම් ගැනද සඳහන් කර ඇති බව පෙනේ. කොළඹ 07 හේවා පටුමග අංක 11 ස්ථානයේ පවතින දැනට විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට පවරාගෙන ඇතැයි පැවසෙන දේපොළෙහි එවකට පදිංචිකරුවන් ශිවා සින්නතම්බි නමැත්තා නිවස තුළම මියගොස් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගැනීමෙන් පසුව ඒ නිවසේ තිබූ වටිනා ගෘහ භාණ්ඩ සහ මිල අධික මත්පැන් බෝතල් එස්.බී. දිසානායක මහතා බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවත් එවකට කුරුඳුවත්ත පොලිසියේ හිටපු ස්ථානාධිපති කපිල ප්‍රේමදාස මරණකරුගේ ක්‍රෙඩිට් කාඞ් පත රැගෙන ගොස් මුදල් ලබාගෙන තිබෙන බවත් මේ සම්බන්ධයෙන් නීතිපති නියෝග ඇතත්, ඒවා ක්‍රියාත්මක වී නැති බවත් ලිපියේ සඳහන් වේ.

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවසට පැමිණි අවස්ථාවේදී නීති විරෝධී කටයුතුවල නිරත වන පුද්ගලයන් කීපදෙනකුද එම නිවසේ සිට ඇති අතර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත එම නීති විරෝධී ජාවාරම්කරුවන් ජනාධිපතිතුමා සමග ඡායාරූපයකට පෙනී සිට ඇති හෙයින් එතුමාගේ ආරක්ෂාව කෙරෙහි සැලකිලිමත් විය යුතු බව”

මේ උපුටනයද ජයවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් ලිපියේ සඳහන් විශේෂ කරුණකි.මෙම ලිපිය අනුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ් සම්බන්ධයෙන්ද බරපතළ කරුණු රැසක් පිළිබඳ විමර්ශන පැවැත්වීමට යෝජනා කර තිබේ.

නිමල් අබේසිංහ - රාවය පුවත්පත