ආබාධිත දරුවෙක්ට පහරදීම : පොලීසිය සිද්ධිය යට ගහන බවට චෝදනා!

ආබාධිත දරුවෙක්ට පහරදීම : පොලීසිය සිද්ධිය යට ගහන බවට චෝදනා!

විශේෂ අවශ්‍යතා සහිත දරුවකුට පොලීසිය විසින් මහමගදී අමානුෂික ලෙස පහරදී වධහිංසා කිරීම පිළිබඳ පැමිණිල්ල බාර නොගෙන පරීක්ෂණ නොමග යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබේ.

ඕටිසම් නම් මානසික දුර්වලතාවකින් පීඩා විඳින තම පුත්‍රයාට අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය පොලිස් මුරපොළ අසල දී පොලිස් භටයන් විසින් ගුටි බැට දී, ගස් බැඳ තිබූ බව දර්ගා නගරවාසී ඒ.එච්.එම් වසීර් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.

මැයි මස 25 වන දින සවස 4.50ට පමණ අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය පොලිස් මුරපොළ අසල තම දරුවාට සිදුවූ වද හිංසනය සම්බන්ධයෙන් කළුතර උතුර නියෝජ්‍ය පොලිස්පති වෙත ලිපියක් යොමු කරමින් ඒ.එච්.එම් වසීර් පියා සදහන් කර ඇත්තේ තම අනු දැනුමෙන් තොරව සිය පුතු එදින පාපැදියකින් ගෙදරින් පිටත්වී ඇති බවයි.

පුත්‍රයාට වධහිංසා කිරීම ගැන දැනගත් පසු එතනට ගිය මොහමඩ් වසීර් දරුවා මානසික ආබාධිතයෙකු බව කී විට මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ 14 හැවිරිදි දරුවා බීමතින් පැමිණ එම ස්ථානයේ කලහකාරි ලෙස හැසුරුන බවයි.

"මගේ පුතා කිසිම දවසක මත්පැන් පානය නොකරන අතර ඔහුගේ පෙනුමෙන්ම මානසික ආබාධිතයකු බව වටහා ගත හැකිය, " යි ඒ.එච්.එම් වසීර් කළුතර උතුර නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කළ පැමිනිල්ලේ සඳහන්ය.

පොලිස් නිලධාරීන්ගේ භාරයෙන් මුදවාගත් දරුවාද රැගෙන පැමිනිල්ලක් සිදු කිරීම සදහා පියා එම මොහොතේම අළුත්ගම පොලිස්ථානය වෙත ගොස් තිබේ.

ඇදිරිනීතිය ක්‍රියාත්මක මොහොතක දරුවා නිවසින් බැහැරට ගොස් ඇති බැවින් දරුවා දින 14 ක් සිරගත කරන බව පවසා පොලීසිය තමන් බියවැද්දවු බව ඒ.එච්.එම් වසීර් නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ඒ.එච්.එම් වසීර් පියා වැඩි දුරටත් අවධාරණය කරන්නේ සාමදාන වීමට කැමැති බවට අත්සන කර දරුවා රැගෙන යන ලෙස පොලිස් නිලධාරියා බල කළ බවයි.

එදිනම රාත්‍රියේ තමන් අළුත්ගම පොලිස් ස්ථානාධිපති හමුවී සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කළ බව ඒ.එච්.එම් වසීර් පියා සදහන් කරයි.

"මගේ පුතාව වෛද්‍ය ප්‍රතිකාර සදහා 27 දින කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කළෙමි. ඉහත අමානුෂික පහරදීමෙන් කම්පනයට පත්වී ඇති මගේ පුතා රෝහලේදී ප්‍රතිකාර කිරීමට තරම් මානසිකත්වයක් නොමැත," යනුවෙන් ඒ.එච්.එම් වසීර් නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

ඒ.එච්.එම් වසීර් ගේ අසල්වාසියකු මාධ්‍ය වෙත සදහන් කර ඇති පරිදී මේ වන විට කළුතර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාසගේ උපදෙස් අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මගින්ද පරීක්ෂණයක් පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තාරික් අහමඩ්ගේ නිවසට ගොස් ඒ පිළිබඳ සොයා බලා ඇති අතර පසුව ඒ පිළිබඳව සිය ට්විටර් ගිනුමෙහි සටහනක් තබා ඇත.

මැයි 25 දා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් 14 හැවිරිදි තාරික් අහමඩ්ට අලුත්ගමදී මෙසේ හිරිහැර කිරීම, කොරෝනා මර්ධනයේදී ප්‍රසංසනීය මෙහෙවරක් කළ ශ්‍රී ලංකා පොලීසියට නින්දාවක් බවත්, මේ සම්බන්ධයෙන් හදිසි පරීක්ෂණයක් කැඳවා තාරික් අහමඩ්ට යුක්තිය ඉටුකරන ලෙස ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි. යනුවෙන් එහි සඳහන් කර ඇත.  

සබැඳි පුවත්