ගෝඨාභය ජනාධිපති තවදුරටත් ඇමරිකන් නොවෙයි

ගෝඨාභය ජනාධිපති තවදුරටත් ඇමරිකන් නොවෙයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ඇමරිකා එක්සත් ජනපද පුරවැසියකු නොවන බව එරට අලුත්ම නිල ලේඛණ පෙන්වාදෙයි. ඇමරිකානු ෆෙඩරල් කාර්යාල නවතම වාර්තාවේ ඇමරිකානු පුරවැසිභාවය අත්හරින ලද සහ ඉවත්කරන ලද පුද්ගලයන්ගේ නාම ලේඛනයේ අලුත්ම වාර්තාව ඊයේ දින නිකුත් කර තිබිණි.

එක්සත් ජනපද පුරවැසි භාවය අත් හල පුද්ගලයන්ගේ නම් දක්වමින්  එරට දේශීය ආදායම් සේවාව විසින් මැයි 5 දා නිකුත් කරන ලද  වාර්තාවේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ නමද දැක්වේ.එහි ඇත්තේ 2020 මාර්තු 31 දාන් අවසන් වන කාර්තුව වන විට භාණ්ඩාගාර ලේකම් වරයාට ලැබුණු නම් බව සඳහන් වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ මෙරට දැඩි කතාබහක් ඇතිවූයේ පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.සිවිල් සංවිධාන කිහිපයක් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේය.

එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණු අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තහවුරු කළේය. එසේම ගෝඨාභය රාජපක්ෂ වගඋත්තරකරුවෙක් කරමින් ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් ඇමරිකාවේ අධිකරණයක පනවනු ලැබූ නඩුවද එම අධිකරණය විසින් නිශ්ප්‍රභ කරන ලද්දේ 'රාජ්‍යතාන්ත්‍රික මුක්තභාවය' යන්න සැලකිල්ලට ගෙනය.