වෛරසයකට පාටක්, පක්ෂයක්, ආගමක්, කුලයක් අදාල නැහැ

 වෛරසයකට පාටක්, පක්ෂයක්, ආගමක්, කුලයක් අදාල නැහැ

කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තවීම පාලනය කිරීම සදහා සියලුම ශ්‍රී ලාංකිකයින් ජාති, ආගම්, පක්ෂ, පාට ආදී සියලු ආකාරයේ බෙදීම් වලින් තොරව එක්සත්ව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් කාරණයක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.

ඊයේ(12) පස්වරුවේ සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමින් ඔහු මේ බව පවසා ඇත.

''මේ මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව, දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව, අනිත් අය මොනවා කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ'' යයිද ඔහු පවසා ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා තිබේ.

''පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයේදී එම නගරයට සීමා වූ වසංගතයක් හැටියට කොරෝනා වෛරසය නොහොත් 'කොවිඩ් - 19' වෛසරය හඳුනාගෙන තිබුණත් අද එය ශීඝ්‍රයෙන් ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් තියෙනවා.

ශ්‍රී ලංකාව තුළත් මෙම භයානක වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව දිනෙන් දින වැඩි වෙනවා. අන්න ඒ නිසා අපි වහාම මෙම වෛරසයට විරුද්ධව සටන් කරන්නට අපි එක්සත් වෙන්න ඕනේ. එකමුතු වෙන්න ඕනේ.

මොකද මෙවැනි වෛරසයකට පාටක්, පක්ෂයක්, ආගමක්, කුලයක් කිසිදෙයක් නැහැ. දේශසීමා නැහැ. මුළු ලෝකය වටේම පැතිරමින් තියෙන මේ තුළින් මෙය ඔප්පු වෙනවා. ලංකාව තුළත් මේ වෛරසය සිංහල බෞද්ධයන් විතරක් හොයාගෙනවත් එහෙම නැත්තම් දෙමළ ජනතාව හොයාගෙන යන වෛරසයක්වත් එහෙම නැත්තම් මුස්ලිම් ජනතාව හොයාගෙන යන වෛරස් එකක්වත් නෙවෙයි.

ඒ වගේම මේක හැදෙන්නේ පොහොට්ටුවේ අයට විතරක් නෙවෙයි එහෙම නැත්තම් UNP අයටවත් JVP අයටවත් නෙවෙයි. මේක මම කිව්වා වගේ අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන් හැටියට මහා අභියෝගයක්.

අන්න ඒ නිසා තමයි අපි මේ මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව. අනිත් අය මොනවා කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ .