ඇමති විමල්ගේ නඩු විභාගය සැප්තෑම්බර්

ඇමති විමල්ගේ නඩු විභාගය සැප්තෑම්බර්

රුපියල් මිලියන හැත්තෑ පහකට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද(12) දින නියම කළේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව සැප්තැම්බර් මස 07 වනදා සහ 09 වන දා විභාගයට ගන්නා බවයි.

එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂි කරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කළේය.

2010 ජනවාරි මස පළවනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ඉකුත් රජය සමයේ ගොනු කරනු ලැබීය.