උදේ හිරේට නියම වුන සරණට දවල් ඇප..!

උදේ හිරේට නියම වුන සරණට දවල් ඇප..!

රජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වරදකරු කර වසර තුනක සිර දඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියම කළේය.

මෙම නඩුව මෝසමක් මාර්ගයෙන් අද(07) කැඳවනු ලැබූ අවස්ථාවේදී සරණ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව ඔහු විසින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවත් එම අභියාචනය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ අභියාචනය භාර ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකාර සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට ද නියම කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම කර තිබුණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම දඬුවම නියම කළ අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කරනු ලැබුවාය.

2005 වසරේ මැයි මස පස් වනදා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රුපියල් 960000/- ක් වැයකරමින් වාහන තුනක් බදු ක්‍රමය යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළාය.

ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බව මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය.