ලලිත් - කුහන් අතුරුදන් නොකළානම්, ගෝඨා නීතිය මග අරින්නේ ඇයි

ලලිත් - කුහන් අතුරුදන් නොකළානම්, ගෝඨා නීතිය මග අරින්නේ ඇයි

ලලිත් - කුහන් අතුරුදන් කළ ගෝඨාට කට්ටි පැනීමට ඉඩදුන් අධිකරණ වාරණය හෙලා දකිමු! යුක්තිය ඉටු කරනු! අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය මැතිවරණ බල පොරයට යට කිරිමට ඉඩ නොදෙමු! යනුවෙන් අද(27) යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර කළේය. අදාල නඩුව අද(27) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අතර අද සාක්ෂි දීමට නියමිතව සිටි ගෝඨාභය රාජපක්ෂ නොපැමිණෙන බව ඔහුගේ නීතීඥයන් අධිකරණයට දැනුම් දුන්නේය.

ලලිත් සහ කුහන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් අභියාචනාධිකරණ වාරණ නියෝගයේ වලංගු කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ යාපනයට පැමිණියහොත් ඔහුට එරෙහිව අධිකරණය නොමග යැවීම හා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලීය.

එම වාරණ නියෝගය දෙසැම්බර් 3 වැනිදා දක්වා වලංගු වේ. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ අධිකරණය මගහැර යාම වැලැක්වීම සඳහා ජනාධිපතිවරණයට පෙර ඔහු අධිකරණයට කැඳවන ලෙස කළ ඉල්ලීම පිලිගත් විනිසුරුවරයා ඔක්තෝබර් 31වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව නැවත කැඳවීමට තීරණය කළේය.

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් මෙන්ම ජවිපෙ දේශපාලනයේ නිරතවූ ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩු විභාගයක් සඳහා සාක්ෂි ලබාදීමට අද 27  පෙනී සිටිය යුතුව තිබුණද , යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කළේ පෙරේදා එනම්(25) වැනිදාය. 

ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළේය. 

ගෝඨාභය රාජපක්ෂ තම පෙත්සමෙන් සඳහන් කර තිබුණේ ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති හෙබියස් කෝපුස් නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා තමාට මේ මස 27 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම අධිකරණය මගින් සිතාසි නිකුත් කර ඇති බවයි.

එහෙත් ආරක්ෂක හේතුන් මත තමාට එම අධිකරණය හමුවට ගොස් සාක්ෂි දීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයක පිහිටි අධිකරණයක සාක්ෂි දීම සඳහා තමන් සූදානම් බව ද සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

More News