ජනපති සිරිසේන දණ නමයි - රාජපක්ෂලාගේ හිතගන්නට යෝෂිතට රස්සාව දෙයි!

ජනපති සිරිසේන දණ නමයි - රාජපක්ෂලාගේ හිතගන්නට යෝෂිතට රස්සාව දෙයි!

වහාම ක්‍රියාත්මකවන පරිදි මහින්ද රාජපක්ෂගේ දෙවනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ නැවත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් තනතුරේ සේවයේ පිහිටුවන ලෙස නාවික හමුදාපතිවරයාට ජනාධිපති සිරිසේන විසින් උපදෙස් ලබාදී ඇතිබව වාර්තා වේ.

සේවය අත්හිටුවීමකින් තොරව 2018 වසරේ පෙබරවාරි සිට නැවත සේවයේ පිහිටුවීම සිදුකරන ලෙස උපදෙස් ලැබී ඇති බැවින් යෝෂිත නැවත තනතුරේ පිහිටුවීමට කිසිඳු බාධාවක් නැතිබවද සැලවේ. සී.එස්.එන් නාලිකාව සම්බන්ධ චෝදනා හේතුවෙන් යෝෂිතට අදාල තනතුරෙන් ඉවත්වීමට සිදුවූ නමුත් දැන් නැවත් සිය සුපුරුදු රාජකාරියේ යෙදීමට ජනාධිපතිවරයා අවස්ථාව ලබාදී තිබේ.

පසුගිය දින කිහිපයේ පැවති පොහොට්ටුව සහ නිදහස් පක්ෂය අතර නිල නොවන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ මොහොත වනවිට සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ දෙපාමුල වැටී ඇති බවට මෙය ඉතා හොඳ සංඥාවක් වන අතර, රාජපක්ෂවරුන්ගේ හිත දිනාගැනීම උදෙසා සිරිසේන ජනාධිපතිවරයා විසින් විවිධ මානසික අල්ලස් ප්‍රධානය කරමින් සිටියි.

එහි දිගුවක් ලෙස යෝෂිත නැවත තනතුරේ පිහිටුවීම සැලකිල්ලට ගත හැකි වේ. සිරිසේන ජනාධිපතිවරයා විසින් පොහොට්ටුව යටතේ අගමැති තනතුරක් අපේක්ෂාවෙන් පසුවන බව පසුගිය සමයේ වාර්තා විය. නමුත් දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ඇතුළු කිහිපදෙනෙක් දිගින් දිගටම උත්සහ කරමින් සිටින්නේ නිදහස් පක්ෂය පොහොට්ටුව තුලට ගෙනගොස් කෙසේ හෝ පොහොට්ටුවේ පාර්ශවකරුවන් වී නිදහස් පක්ෂය අතුගා දැමීමය.

මෙයට එරෙහිව ක්‍රියාත්මකවන වෙල්ගම, දුමින්ද ඇතුළු පිරිසට දයාසිරිලා දැඩිසේ පහරදෙමින් සිටී. මේ අනුව සිරිසේන ජනාධිපතිවරයා මේවනවිට දයාසිරි,නිමල් සිරිපාල, මහින්ද අමරවීර යන අයගේ ඉත්තෙක් ලෙස කටයුතු කරමින් පොහොට්ටුව හා සම්බන්ධවීමේ අපේක්ෂාවෙන් රාජපක්ෂවරුන් ඉදිරියේ දණින් වැටී සිටීම පැහැදිලිය.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මකවන අතර රාජපක්ෂවරුන්ගේ වාසියට බොහෝ දේ සිදුවීමට ඉඩ ඇති කාලයක් බව සහතිකය.