ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදහස් : අමාත්‍යංශ හිටපු අතිරේක ලේකම්වරියට වරෙන්තු

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදහස් : අමාත්‍යංශ හිටපු අතිරේක ලේකම්වරියට වරෙන්තු

ගාලු වරාය අසල මුහුදේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු අභියාචනාධිකරණය විසින් කළ නියෝගයකට අනුව නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(23) කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව විත්තිකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු අභියාචනාධිකරණය විසින් කළ නියෝගයකට අනුව නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මේ අතර නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර ඇතැයිද මහේස්ත්‍රාත්වරිය මෙහිදි පැවසුවාය.

ඒ අනුව අදාළ නඩුවේ අටවන විත්තිකාරිය ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මේ වන විට අධිකරණය මඟහැර විදේශගතව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කළ අතර එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකාව නිදහස් කිරීමට අධිකරණය විසින් තීරණය කර ඇති බැවින් ඇය වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසද ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ අදාල විත්තිකාරියට දැනටමත් වරෙන්තුවක් නිකුත් කර ඇති හෙයින් ඇය නිදහස් කරනු ලැබුවද නැවත අධිකරණය හමුවේ පෙනී සිට වරෙන්තුව ආපසු කැඳවා ගැනීමට පියවර ගන්නා ලෙස ඇයගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.