සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කරූ මැදිහත් වෙයි - විශේෂ සාකච්ඡාවක් අද

සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කරූ මැදිහත් වෙයි - විශේෂ සාකච්ඡාවක් අද

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය  භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (22දා) පවසා තිබේ.

තමන් අපේක්ෂක ධුරය අපේක්ෂා නොකරන බවත්, එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන  අතරින් කෙනෙකුට ලැබිය යුතු බවත් කථානායකවරයා සඳහන් කර තිබේ.

කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයා හා නියෝජ්‍ය නායකයා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා හමු වී තිබෙන බවද වාර්තා වෙයි.

ඒ අනුව ඉතා ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගැටලුව විසඳෙනු ඇති බවද කථානායකවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර  කථානායක කරූ ජයසූරියගේ මැදිහත්වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර අද (23) ද විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව බොහෝදුරට ඉදිරි පැය 72 තුළ දී ප්‍රකාශයට පත් කරනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.