සිර දඬුවම් නියම වූ සතොස සාමාන්‍යාධීකාරීට ඇප

සිර දඬුවම් නියම වූ සතොස සාමාන්‍යාධීකාරීට ඇප

රජයට රුපියල් මිලියන හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ස.තො.ස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වසරක සිර දඬුවම් අද උදෑසන නියම කළ අතර එම දඬුවමට එරෙහිව අද සවස විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරු විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළේය.

2002 වසරේ ජූලි මස පල වනදා සහ එම මස විසි වනදා අතර කාලසීමාව තුළ සතොස ආයතනය මගින් ආනයනය කළ සහල් තොග නියමිත වටිනාකමට වඩා අඩු මුදලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදු කිරීම මගින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අධිකරණයට දන්වා සිටියේ උසස් නිලධාරීන්ගේ නියෝග මත විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

එහෙත් තීන්දුව ප්‍රකාශ කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ විත්තිකරු සතු සහ ආයතනය උසස් නිලයක් හෙබවූ පුද්ගලයෙකු බැවින් ඔහුට වගකීමකින් යුතුව කටයුතු කිරීමේ යුතුකමක් තිබූ බවයි.

කෙසේ වෙතත් මෙම සිර දඬුවමට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කරන බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ විත්තිකරුට වසරක සිර දඬුවම් සහ රුපියල් 50000ක දඩයක් නියම කරන බව නියෝග කර තිබුණි.