දශක හයය එ.ජා.ප ඉතිහාසයේ ‘දරුණුම පාවාදීම’ - රනිල් පක්ෂය අමුවෙන් විකුණයි..!

දශක හයය එ.ජා.ප ඉතිහාසයේ ‘දරුණුම පාවාදීම’ - රනිල් පක්ෂය අමුවෙන් විකුණයි..!

රනිල් වික්‍රමසිංහ යනු බලයේ සිටීම උදෙසා දේශපාලන වෛශ්‍යා වෘත්තියේ යෙදිය හැකි නිවට නායකයෙක් බව යළිත් වතාවක් පැහැදිලි කරමින් අද (01) එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදුකිරීමේ කාළකණ්ණි තීරණයකට රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බත්බැල කණ්ඩායම පත්ව තිබෙන බව ඉතාම කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ අද රනිල් වටා එකතුවී ඉන්නේ කිසිසේත්ම එ.ජා.ප යට හෝ එ.ජා.ප යේ ජන බලයට ආදරය කරන, පක්ෂපාතී පිරිසක් නොවේය. පක්ෂයෙන් පක්ෂයට පැන නන්නත්තාරවූ රාජිත සේනාරත්න ලා, චම්පික රණවක ලා අද එ.ජා.ප යේ ඉරණම තීරණය කරන අලුගෝසුවන් බවට පත්ව ඇත්තේ රනිල්ගේ බලලෝභී ෆැන්ටසි මාලිගා නිසා පමණක්මය. අලුත් පෙරමුණක් නැමති ‘මර උගුලක’ ට එ.ජා.ප ය හසුකරන්නට දිවා රෑ වෙහෙසෙන්නේ ද රාජිත,චම්පික වැනි දේශපාලන අනාතයන් ය.

ප්‍රජාතන්තවාදී ජාතික පෙරමුණ කාගේ ලණුවක්ද?

එක්සත් ජාතික පක්ෂය 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්දයේ බරපතල පසූබෑමෙන් පසුව පාක්ෂිකයන්ගේ පමණක් නොව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පවා මතුවුණේ නායකත්වයේ වෙනසක් සහ පක්ෂයේ ව්‍යූහාත්මක වෙනසක අපේක්ෂාවක්. 2018 අවසානය වනවිට 2019 ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව දැනගත් තැන පටන් එ.ජා.ප යේ නායකත්වය රනිල්ට අහිමිවීමේ අවදානමක් දැඩිව මතුව තිබණි.

එහෙත් 2018 ඔක්තෝම්බර් සිරිසේන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික සහ ව්‍යවස්ථා විරෝධී පිළිවෙත නිසා රනිල්ට තව කෙටි කලක් තනතුරේ ඉන්නට ප්‍රතිජීවක ලැබුණු බව පැහැදිලිය. එසේ ලද මාස කීපයෙන්ම රනිල් 2019 පමණක් නොව වළපල්ලට යනතෙක්ම පක්ෂ නායකත්වයේ සිටිමින් එ.ජා.ප ය ද සුසානයට රැගෙන යාමේ අති ආත්මාර්ථකාමී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට විය.

රවී කරුණානායක නැමැති කූඨ සහ එ.ජා.ප යට විනකරමින්, එ.ජා.ප යේ නාමයට ‘චෞර’ නාමය එක්කරමින් රනිල් වික්‍රමසිංහ තවදුරටත් පක්ෂ නායකත්වයේ තබා තමන්ට රිසිසේ ආණ්ඩුව තුල මෙන්ම පක්ෂය තුලත් මදාවි රංගනයේ නිරත වන්නට අවශ්‍ය විය.

හුදෙක්ම මේ නව පෙරමුණක් නමින් අටවාගන්නා අටමගල ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් හෝ පක්ෂයේ දියුණුව ඉලක්ක කරගත් සාධකයක් නොව පක්ෂය පාවාදී රනිල් සහ ගෝලබාලයන්ගේ තැන රැකගැනීමේ ප්‍රයත්නයකි.

සිරිකොත වෙනුවට අලුත් ගුබ්බෑයමක්!

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බලය ඇත්තේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ය. පවතින තත්වය තුල රනිල්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් අකමැතිය. ඇතැම් අය අකමැත්ත සෘජුව පෙන්වන අතර තවත් පිරිසක් උඩින් රනිල්ට හිතවත් බව පෙන්වූවද සිතින් රනිල් සමග පසමිතුරුය. ඒ නිසා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගැන රනිල් වික්‍රමසිංහට ඇත්තේ බලවත් සැකයකි.

නියත වශයෙන්ම අලුත් සන්ධානයේ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්කර අවසර ගෙන සිරිකොත තුල අලුත් පක්ෂය ආරම්භකරන්නට ගියහොත් කෘත්‍යාධිකාරී මණ්ඩලය එයට විරුද්ධවන බව දන්නා රනිල් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ කාර්යාලය ලෙස සිරිකොත වෙනුවට කොළඹ 05, හැව්ලොක් පෙදෙසේ, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ 146/20 යන කාර්යාලයට විතැන් කිරීමට හදිසියේ තීරණය කරන ලදි. පසුව දැනගන්නට ලැබෙන ආකාරයට අදාල කාර්යාලය රාජිත සේනාරත්නගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට අයත් කාර්යාලයකි. ඒ නිසා දැන් එ.ජා.ප ය සිරිකොතෙන්ද ගලවාගෙන වෙනත් ගුබ්බෑයමක අසරණ කරන තැනකට රනිල් පත්ව ඇත.

එ.ජා.ප යේ බලය සුළු පක්ෂවලට විකුණයි!

එක්සත් ජාතික පක්ෂය නැමති තනි පක්ෂයක් ලෙස මෙරට විශාලතම ජනවරමක් හිමි පක්ෂය අලුතෙන් අටවාගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නැමති කූඨ සන්ධානය තුල තවත් එක් පක්ෂයක් මිස තීරක බලවේගයක් නොවන බව සාධක සහිතව පෙන්වා දිය හැකිය.

නව සන්ධානයට එ.ජා.ප ය, ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සිලෝන් මක්කල් කොංග්‍රසය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් අන්තර්ගත වන සන්ධානයේ පාලනය සිදුවන්නේ ‘නායකත්ව කවුන්සිලයක්’ හරහා වන අතර එය සාමජිකයන් 10ක ගෙන් සමන්විතය. එ.ජා.ප යට හිමිවන්නේ එයින් සාමාජිකයන් 6 ක් වන අතර පක්ෂයේ ප්‍රධාන තීරණ ගන්නා මොහොතක එ.ජා.ප යේ බහුතරය නොසිටියහොත් අනෙක් පක්ෂවල නියෝජිතයන්ට තමන්ට අවශ්‍ය පරිදී යෝජනා සම්මත කරගෙන අවශ්‍යනම් එ.ජා.ප ය අදාල සන්ධානයෙන් පයින් ගසා එළවා දමන්නට පවා හැකියාව ඇත.

නායකත්ව කවුන්සිලයට පහලින් ඇත්තේ විධායක කමිටුව වන අතර එය සාමාජිකයන් 50කින් සැදුම්ලත් එකක් වන අතර එහිද එ.ජා.ප යට හිමිවන්නේ සාමාජිකයන් 26ක් පමණි. විධායක කමිටුවේ තීරණ සහ නායකත්ව කවුන්සිලයේ තීරණ මත අදාල සන්ධානයේ ක්‍රිියාකාරිත්වය තීරණය වනු ඇත. ඉදිරි මැතිවරණ වලදී අපේක්ෂකයන් තේරීමේ සිට පක්ෂය ගන්නා සියලුම ක්‍රියාමාර්ග එන්නේ අදාල කමිටු හරහාය. ඒ නිසා එ.ජා.ප යේ බහුතරය නැතිවූවද ඕනෑම තීරණයක් ගැනීමට හැකියාව තිබීම යටතේ ඉදිරි මැතිවරණයට අවශ්‍ය නම් ‘එ.ජා.ප’ අපේක්ෂකයෙක් වෙනුවට වෙනත් බාහිර පක්ෂයක තුට්ටු දෙකේ අස්සයෙක් වුනත් ඉදිරිපත් කිරීමේ බරපතල අවදානමක් ඇත.

රනිල් එ.ජා.ප ය සුළු පක්ෂ කිහිපයක සහ රාජිත, රවී, චම්පික වැනි ජනපතිධූර හීනයකින් සූස්ති අදින්නන් ගොඩකගේ පාලනයට යටත් කරමින් පක්ෂයේ බලය විකුණා දමන්නේ තමන්ගේ තනතුර රැකගැනීමට මෙන්ම බිම් මට්ටමේ පාක්ෂිකයාගේ මතයට පයින් ගසමින් වීම බරපතල ඛේදවාචකයකි.

එ.ජා.ප ය ඇතුලෙන් විරෝධය - ආණ්ඩු හිතවාදී පක්ෂද පහර දෙයි

පෙරකී නව සන්ධානය සම්බන්ධයෙන් එ.ජා.ප ය තුල ඔළුවක් ඇති සාමාජිකයන් බහුතරයක් දැඩිසේ විරෝධතාවය දැක්වීය. එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේද ඕනෑම සන්ධානයක ප්‍රධාන පක්ෂයට හිමි බලතල වලින් අරික්කාලක් හෝ එ.ජා.ප යට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ තුල නොමැති වාතාවරණයක නිදහස් පක්ෂය හේදී යනවා සේම එ.ජා.ප යට ද එම ඉරණමම අත්වෙනු ඇති බවය.

මේ සන්ධානයට සම්බන්ධවී සිටින්නේද දේශපාලනික බලලෝභීකමින් වික්ෂිප්තවී සිටින සහ එ.ජා.ප ය දෙකඩ කිරීම සඳහා අවස්ථා ගණනාවකදීම කුමන්ත්‍රණ කල රාජිත,චම්පික, රවී වැන්නවුන් වීම තුල එ.ජා.ප යට මේ හරහා සිදුවන හානිය වැඩිබව සඳහන් කරමින්ය.

එසේම ආණ්ඩුව තුල එ.ජා.ප ය සමග රැඳෙන රාවුෆ් හකීම් වැනි වෙනත් පක්ෂවල දේශපාලනඥයන් ද දැඩිසේ මෙම යෝජිත සන්ධානය ප්‍රතික්ෂේප කරමින් ඇත. ඒ නිසා ඉදිරියේදී එ.ජා.ප යට මේ අශුද්ධ සන්ධානය නිසා මුස්ලිම් කොංග්‍රසයේ තීරක බලවේග මෙන්ම කාලයක් තිස්සේ එ.ජා.ප යේ නැවුම් වෙනසක් අපේක්ෂාවෙන් සිටින හිතවාදීන් එ.ජා.ප ය අතහැර ස්වාධීන වීමය.

නින්දිත අරමුණක්

මෙලෙස ඉතිහාසයේ දරුණුතම පාවාදීමට එ.ජා.ප ය හසුකරන්නේ රනිල් ඇතුළු නඩය නොදැනුවත්ව නොවේය. රනිල්ගේ ගජ මිතුරු කල්ලියේ මලික් සමරවික්‍රම මෙන්ම රනිල්ට අතිශය පක්ෂපාතී කබීර් හෂීම්ලා පවා රනිල් විවේචනය කරන තැනට පත්වෙද්දී රටේ දේශපාලනයේ නාඩි වැටීම ගැන කිසිඳු තැකීමකින් තොරව රනිල් ගන්නට යන තීරණය හමුවේ එ.ජා.ප ය බෝඩ් ලෑල්ලක් පමණක් වන තැනට පත්වීම අනිවාර්යය. රනිල්ට අවශ්‍ය වන්නේද එය විය හැකිය. තමන්ට නැතිවන්නට යන දේ සියල්ලන්ටම නැතිකර කාළකණ්ණි ආශ්වාදයක් ලැබීම මුඛ්‍ය පරමාර්ථය විය හැකිය.

Braking 

WhatsApp Image 2019 07 31 at 4.42.18 PM

WhatsApp Image 2019 07 31 at 4.42.23 PM

WhatsApp Image 2019 07 31 at 4.42.19 PM

WhatsApp Image 2019 07 31 at 4.42.25 PM

WhatsApp Image 2019 07 31 at 4.42.28 PM

WhatsApp Image 2019 07 31 at 4.42.32 PM

WhatsApp Image 2019 07 31 at 4.42.35 PM

WhatsApp Image 2019 07 31 at 4.42.36 PM

WhatsApp Image 2019 07 31 at 4.42.37 PM

WhatsApp Image 2019 07 31 at 4.42.38 PM