ඉරාකයේ ඇමරිකානු කඳවුරු දෙකකට ඉරානයෙන් මිසයිල වරුසාවක්!

ඉරාකයේ ඇමරිකානු කඳවුරු දෙකකට ඉරානයෙන් මිසයිල වරුසාවක්!

ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා සඳහා පහසුකම් සපයන ප්‍රධාන මර්මස්ථාන කඳවුරු දෙකක් ඉලක්ක කරගෙන ඊයේ(07) රාත්‍රියේ ඉරාන හමුදා විසින් දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. විස්සකට ආසන්න මිසයිල ප්‍රමාණයක් එල්ල කර ඇති අතර ඒවායේ ඉලක්කය වී ඇත්තේ උතුරු ඉරාකයේ ඇමරිකානු කඳවුරු දෙකක් පිහිටා ඇති Ain-Al Asad ප්‍රදේශයයි. 

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නායකයෙක් වන ජෙනරාල් සුලෙයිමානි ඇමරිකානු ගුවන් ප්‍රහාරයක් මගින් ඉරාකයේ බෑග්ඩෑග් ගුවන් තොටපුල ආසන්නයේදී ඝාතනය කිරීම සිදුකර සතියක් ගතවන්නටත් පෙරාතුව ඉරානය විසින් ඇමරිකාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරිම ආරම්භකර ඇත. විශේෂයෙන්ම ඉරානය සුලෙයිමානිගේ අවමගුල් අවස්ථාවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ නිසැකවම එම ඝාතනයට එරෙහිව ඇමරිකාවෙන් පලිගන්නා බවය. 

විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය

එසේම ඉරාන පාර්ලිමේන්තුව විසින් හදිසියේ සම්මත කරගත් පනතක් අනුව පෙන්ටගනයට සම්බන්ධ සියලුම හමුදා සහ සංවිධාන ඉරානයට එරෙහි ත්‍රස්තවාදීන් බවට නම්කර තිබේ. ඉරාන විදේශ අමාත්‍ය ජාවේඩ් සරීෆ් ප්‍රකාශ කරන්නේ තමන්ට මෙම යුදමය තත්වය වර්ධනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් මෙම මිසයිල ප්‍රහාරය සිදුකරනු ලැබුවේ සිය රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන පියවරක් ලෙස බවත්ය. 

1c80acd8ea894308aa1c15ba087eeccb 18

හානිය

ඉරාකයේ ඉර්බිල් ගුවන්තොටුපල ආසන්නයේ ඇති ඇමරිකානු හමුදා සැපයුම් කඳවුරද මෙම මිසයිල ප්‍රහාරයේ තවත් ඉලක්කයක්ව තිබේ. ප්‍රහාරය සිදුවූ සැනින් ඉරානය විසින් නිවේදනය කරනු ලැබුවේ යම් හෙයකින් ඇමරිකාව නැවත ප්‍රහාර එල්ලකල හොත් තවත් දැවැන්ත ප්‍රහාර ගණනාවකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත්ය.එසේම ඇමරිකානු හිතවාදී ඊශ්‍රායලයට ද ඉරානය අනතුරු අඟවා තිබේ. 

7db6ac5791404c89873e5b2f329409fc 18

පෙන්ටගනයේ ප්‍රකාශක ජෙනතන් හොෆ්මන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඉරානය විසින් ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, එම ප්‍රහාරය සම්බන්ධයෙන් තම ආරක්ෂක අංශ අවධානයෙන් සිටි නිසා ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට හැකිවූ බවය. කෙසේ වෙතත් සිදුවූ හානිය තවමත් ඇස්තමේන්තු කර නැති අතර ධවල මන්දිරය තුල මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

ප්‍රහාරය සඳහා භාවිතා කර ඇත්තේ ඉරානයේ නිෂ්පාදිත මීටර් 11ක් උසැති QIAM මිසයිල වන අතර ඒවා සෝවියට් රුසියාවේ නිෂ්පාදිත C මිසයිල ආකෘතිය පාදක කරගෙන ඉරානයේ විශේෂ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ බැලැස්ටික් මිසයිල වර්ගයකි.