Face App ඔබේ පුද්ගලික දත්ත සොරාගන්නවාද? ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

Face App ඔබේ පුද්ගලික දත්ත සොරාගන්නවාද? ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

කාලයකට ඉහතදී සමාජ ජාල පරිශීලකයන් අතරේ සුප්‍රසිද්ධ application එකක් වුණු Face App නැවතත් කරළියට ඇවිත් ඇති බව දකින්න පුළුවන්. Facebook, twitter, Instagram වෙබ් අඩවිවල විශාල පිරිසක් තමන්ගේ මුහුණු විවිධ ආකාරයෙන් වෙනස් කරගනිමින් වෙනස් විදිහක අත්දැකීමක් විඳින බව පැහැදිලියි. ඒත් මේ application එක හරහා ඔබේ ස්මාර්ට් දුරකතනයේ බරපතල දත්ත සොරාගැනීමක් සිදුවන බවට වාර්තාවීමත් සමග ලෝකයම කැලඹෙන දෙයක් බවට මෙය පත්වී තිබෙනවා.

Smart Phone එකේ පුද්ගලික දත්ත කොහෙන්ද?

ඔබ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් හෝ බ්ලැක්බෙරි ජංගම දුරකතනයේ පුද්ගලික දත්ත කොහෙන්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් මේ විදිහට හිතන්න. ඔබේ ඡායාරූප ගැලරියේ කොතරම් පුද්ගලික සහ අතිශ්‍ය පුද්ගලික ඡායාරූප තියෙන්න පුළුවන්ද? ඔබ අන්තර්ජාලය හරහා ගෙවීම් කරනවනම් ඔබේ Credit සහ debit cards දත්ත ස්මාර්ට් දුරකතනයේ තියෙන්න පුළුවන් නේද?

ඒ විතරක්ද, ඔබ ඔබේ පුද්ගලික ගිණුම් ඇති බැංකුවල Online app භාවිතා කරනවනම් ඒ දත්ත, බැංකු කාඩ්වල රහස්‍ය අංක, Social Media accounts වල රහස්‍ය මුරපද කොච්චරනම් තියනවද? ස්මාර්ට් දුරකතනයේ කැමරාව පවා පාලනය කරන්න පුළුවන් applications බිහිවෙන ලෝකයක ඔබේ පුද්ගලික දත්තවලට රිංගන්න, ඒවා පැහැරගන්න මේ applications වලට හැකියාවක් නෑ කියලා කාටනම් සහතික වෙන්න පුළුවන්ද?

මොකක්ද මේ Face app?

Face app කියන්නේ ඇපල් දුරකතන සඳහා නිර්මාණය කරපු ඇප්ලිකේෂන් එකක්. මේක රුසියාවේ නිර්මාණය වුණු එකක් වීම නිසා ලෝකයේ අවධානය ටිකක් වෙන අතකට යොමුවුණා. 2017 අවුරුද්දේ වෛරසයක් වගේ අන්තර්ජාලයේ පැතිරගියපු මේක නැවත මෑතකදී කරලියට එන්නේ වඩාත් තාත්වික තරුණ සහ මහළු මුහුණු වෙනස් කිරීම් එක්කයි. ඒ නිසා බොහෝ දෙනෙක් රැල්ලට මේ ඇප් එක පාවිච්චි කරමින් තමන්ගේ ඡායාරූප වෙනස් කරගන්න පටන්ගත්තා. එහෙම වෙනස් කරන්නනම් මේ ඇප් එකට තමන්ගේ දුරකතනයේ යම්කිසි දුරකට ඇතුලත්වීමට අවස්ථාව දියයුතුමයි.

අන්තර්ජාල විශ්ලේෂකයන් සඳහන් කරන විදිහට මේ ඡායාරූප වෙනස් කරන ඇප් එකට ඡායාරූප යොමුකරද්දී ඒවා අදාල සමාගමේ Servers වල ගබඩාවීම සිදුවෙනවා. ඒත් එක්කම සමාගමේ දත්ත ගබඩාව සහ අදාල දුරකතන අතරේ සබඳතාවත් නිර්මාණය වෙනවා. මෙන්න මේක තමයි භයානක තත්වය වෙන්නේ.

දත්ත ආරක්ෂිතයිද?

රුසියාවේ සමාගමක තමන්ගේ ඡායාරූප ගබඩාවී තිබීමම ඇමරිකානුවන්ට නම් බරපතල ගැටළුවක්. අනිත් පැත්තෙන් මේ ඇප් එකේ Data Privacy Policies ඉංග්‍රීසි භාෂාවෙන් නිවැරදිව සඳහන් නොවීම එක්ක පරිශීලකයන්ට හිතන්න බොහෝ දේ ඉතිරිකරලා තියනවා.

එළිසබත් පොට්ස් නැමති විශ්ලේෂිකාව මේ ගැන සඳහන් කරන්නේ මේ දත්ත ප්‍රතිපත්ති අනුව ඔබේ තොරතුරු අවශ්‍ය විටක වෙනත් ස්ථානයකට මාරු කරන්නට හැකි බවට එහි සඳහන් වීම බරපතල ආරක්ෂාව සම්බන්ධ ගැටළුවක් පෙන්වන බවයි.

පසුගිය සමයේ facebook සමාජ ජාලයේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් මාර්ක් සකර්බර්ග්ට චෝදනා එල්ලවූ අතර එතරම් ආරක්ෂිත යැයි විශ්වාසකල facebook පවා තමන්ගේ දත්ත විකුණුවානම් හෝ පැවරුවානම් Face app කෙසේ විශ්වාස කරන්නද කියා ගැටළුවක් පැන නගී. 

ඇමරිකානු ෆෙඩරල් ඒජන්සිය පවා මේ වනවිට ඉතා සංකීර්ණ ආකාරයෙන් මෙම face app එක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භකර ඇති අතර රජයේ සහ ඉහළ තනතුරු දරණ සෑම දෙනෙක්ටම පාහේ මෙම ඇප් එක භාවිතයෙන් වැළකෙන ලෙස දැනුම්දී ඇති බවටද TechCrunch වෙබ් අඩවිය වාර්තා කරයි.

ලෝකය ඉදිරියේ නිරුවත්වනවාද? අසරණවනවාද?

තාක්ෂණයට කරන්නට බැරි දෙයක් නැති තරම්ය. ඒ නිසා විනෝදාස්වාදය උදෙසා රැල්ලට තාක්ෂණය භාවිතා කරමින් තමන්ගේ පුද්ගලිකත්වය, වටිනා දත්ත, මුදල් නැතිභංගස්ථාන කරගන්නේ නැතිව වගකීමෙන් යුතුව අවබෝධයෙන් තාක්ෂණය භාවිතා කිරීමට කාලය එළඹ ඇති බව පැහැදිලිය.