කොරෝනා සමග සටනට කියුබානු වෛද්‍යවරුන් ඉතාලියට..

කොරෝනා සමග සටනට කියුබානු වෛද්‍යවරුන් ඉතාලියට..

දිනෙන් දින වර්ධනය වන ඉතාලියේ කොරෝනා වසංගතයේ තත්වය පාලනය කිරීමේ අරමුණින් කියුබානු වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉතාලියට පැමිණ තිබේ. කියුබානු රජය ඉතාලිය උදෙසා මිත්‍රත්වයේ දෑත් දිගුකිරීමක් වශයෙන් මෙලෙස ස්වේච්ඡාවෙන්ම වෛද්‍යවරුන් පිරිසක් ඉතාලිය වෙත යැවීමට තීරණය කරන ලදි.

චීනයද ඉක්මවා මේ වනවිට ඉතාලිය කොරෝනා වෛරස් රෝගයෙන් පීඩා විඳින අතර දැනටමත් පුද්ගලයින් 5000 කට වැඩි පිරිසක් වසංගතය හේතුවෙන් මියගොස් තිබේ. දෛනිකව මියයන සංඛ්‍යාවද 500 ඉක්මවා යාම සහ දෛනිකව වාර්තාවන නව ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවීම හේතුවෙන් ඉතාලියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් දැඩිලෙස වෙහෙසට පත්ව තිබේ. එම නිසා එම වෛද්‍යවරුන්ට සහය දීම මෙන්ම කොරෝනා වසංගතයට එරෙහිව ඉතාලියේ සටනට දායත්වය ලබාදීම මෙම කියුබානු වෛද්‍ය කණ්ඩායමේ අපේක්ෂාවයි.

ලොව සෞඛ්‍ය සේවා සහ දැනුම අතින් ඉතා දියුණු රටවල් පවා කොරෝනා වසංගතයෙන් පීඩා විඳින අතරතුර ඉතාලිය වෙනුවෙන් කියුබාව මෙලෙස මැදිහත්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු සංවිධාන ගණනාවක පැසසුමට ලක්ව තිබේ. ඉබෝලා වෛරයස පැතිර යන සමයේ බටහිර අප්‍රිකාවට සහ කොළරා වසංගත සමයේ හයිටි රාජ්‍යයටද මේ ආකාරයෙන්ම කියුබානු වෛද්‍යවරුන් පැමිණ සිය දායකත්වය ලබාදී තිබේ.

සමාජවාදී රාජ්‍යක් ලෙස මින් කලකට පෙර ප්‍රචලිතව පැවති කියුබාව වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ප්‍රචලිතය.