සතියක් තුල කොරෝනා රෝගීන් ලක්ෂ දෙකහමාරක්! ලෝකයම අවදානමක

සතියක් තුල කොරෝනා රෝගීන් ලක්ෂ දෙකහමාරක්! ලෝකයම අවදානමක

සතියක කාලය ඇතුලත ලොව පුරා කොරෝනා අසාදිතයින් ගණන 250,000 කින් ඉහළ යාම හේතුවෙන් මෙතෙක් නොසිතූ විරූ අයුරින් මෙම රෝගයේ අවදානමට ලෝකය ගොදුරු වෙමින් සිටින බව දැකිය හැකිය. එසේම එම සතියක කාලය තුල ලොවපුරා කොරෝනා මරණ 13,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබීම ද ඉතා බරපතල කරුණකි.

 

මාර්තු 18 වැනිදා වනවිට ලොවපුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 218,744ක් පමණක් වූ නමුත් ඊයේ (මාර්තු 25) වනවිට එම රෝගීන් සංඛ්‍යාව 471,035 දක්වා ඉහළ ගොස් තිබුණි. එනම් එම සතිය තුල නව රෝගීන් 253,000 ක් පමණ වා්රතා වී ඇති අතර ප්‍රතිශතාත්මකව බැලුවහොත් 120% කට වැඩි වර්ධනයකි.

එසේම මාර්තු මස 18 වනවිට කොරෝනා රෝගය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව වාර්තාවී තිබුණේ 8,951 ක් ලෙසින් වුවද, මාර්තු 25 වන විට එම සංඛ්‍යාව 21,283 දක්වා ඉහළ ගොස් තිබුණේ මරණ සංඛ්‍යාව 13,000 කට ආසන්න ප්‍රමාණයක වැඩිවීමක් සටහන් කරමින්ය. එහි වර්ධනය 160% කට ආසන්නය. 

මෙම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවේ වර්ධනයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤඥය වැනි රටවල කොරෝනා වසංගත තත්වයේ පාලනය ගිලිහී ඇතිබව පනෛන්නට ඇති නිසාය. ඉතාලිය තුල පමණක් දෛනිකව නව රෝගීන් 5000-7000 අතර ප්‍රමාණයක් වාර්තා වන අතර, දෛනික මරණ සංඛයාව 500-700 අතර වාර්තාවීම දක්නට ලැබුණි. මෙය ඉතා අවාසනාවන්ත තත්වයක් ලෙස සැලකිය හැකි අතර මේ වනවිටත් ඉතාලි සෞඛ්‍ය බලධාරීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් තිබේ. 

ඉතාලියටත් වඩා මෙම රෝගයේ බරපතල තත්තවයට මුහුණ දෙමින් සිටන රට වන්නේ ඇමරිකාවය. ඊයේ දිනයේ පමණක් නව රෝගීන් 13,347ක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව ඊයේ වනවිට 68,000 ඉක්මවා තිබිණි. ඒ අනුව ඇමරිකාව තුල කොරෝනා රෝගය ඉතා වේගයෙන් පැතිර යන බව පෙනෙන්නට ඇති අතර, එහි සියළුම ප්‍රාන්තවල රෝගීන් වාර්තා වෙමින් තිබේ. සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන්නේ නිව්යෝර්ක් නගරයෙන් වීමද ඉතා අවදානම්සහගත තත්වයකි. නව රෝගීන් වාර්තාවීම පාලනය කල නොහැකිවුව හොත් දින දෙකක් තුල ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉතාලිය සහ චීනය ඉක්මවා යන බව පැහැදිලිය.

ඉතාලිය සහ ඇමරිකාව හැරුණු කොට ස්පාඥ්ඤය දැඩිලෙස කොරෝනා රෝගී තත්වයෙන් පීඩා විඳින අතර මාර්තු 25 දින තුල පමණක් නව රෝගීන් 7,500 ක් සහ මරණ 656 ක් වාර්තා වී තිබිණි. ඉතාලියට පසු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද එම රටින් වන අතර වසංගත තත්වය මැඩපැවැත්වීම ඉතා අසීරු අඩියකට පත්ව තිබේ.

ජර්මනිය,ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තයේද රෝගීන් සංඛයාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන සමස්ත යුරෝපයම කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.