චීනය ලංකාවට යුධ නැවක් තෑගි දෙයි - ඇමරිකාව රත්වෙයි!

චීනය ලංකාවට යුධ නැවක් තෑගි දෙයි - ඇමරිකාව රත්වෙයි!

චීන රජය විසින් ශ්‍රී ලංකාවට නවීනතම යුධ නැවක් තෑගි කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. කලාපයේ උපක්‍රමික වශයෙන් ඉතාම වැදගත් දිවයිනක් වන ශ්‍රී ලංකාව සමග මිලිටරිමය සබඳතාව තවත් ශක්තිමත් කරගැනීම සඳහා චීනය මෙම පියවර ගෙන ඇති බවද සැලවේ.

මෙම යුධ නැවට අමතරව නුදුරු අනාගතයේ චීනය විසින් නිෂ්පාදිත නවීනතම ඩීසල් දුම්රිය කට්ටල නවයක් ද ප්‍රදානය කිරීමේ සූදානමක් පිළිබඳවද සඳහන් කරයි.

P625 යුද නැව චීනයේ නිෂ්පාදිත නැවක් වන අතර එය 2015 වසර දක්වා චීන නාවික හමුදාව විසින් භාවිත කර ඇත. මිසයිල පහසුකම්ද සහිත මෙම නැව පසුගිය සතියේ කොළඹ වරායට ලඟාවීම විශේෂ පුවතක් ලෙස ලොව පුරා වාර්තා කර තිබිණි.

මෙම සිදුවීමෙන් කලාපයේ උපක්‍රමික වාසි පිළිබඳ සීතල යුද්ධයක නිරත වෙන ඇමරිකාව සහ චීනය අතර ගැටුම තවත් උත්සන්න කරන සිදුවීමක් විය. කලාපය තුල ඇමරිකානු හිතවාදී රාජ්‍ය වන ඉන්දියාව චීනයේ මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවේ.

පසුගිය වසරේ ඉන්දියාව විසින් වෙරළාරක්ෂක යාත්‍රා කීපයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ලැබූ අතර එය සිදුකරන ලද්දේ ඇමරිකාව විසින් ඉන්දියාව වෙත කරන ලද පෙළඹීමක් හේතුවෙන්ය. කලාපය තුල ශ්‍රී ලංකාවේ පිහිටීම ඉතා වැදගත් වන්නේ ත්‍රිකුණාමලය ස්වභාවික වරායේ සිට චීනය ඇතුළු රටවල් ගණනාවක් ඉලක්ක කරගෙන නාවික පාලනයක් සිදුකිරීමට හැකිවීම නිසාය.

ත්‍රිකුණාමලය වරායේ අයිතිය හෝ පාලනය වෙනත් රටකට පැවරීම වැලැක්විය යුත්තේ ඒ නිසාවෙන් බවද ඉන්දියාව දැඩිසේ අවධාරණය කර තිබේ.

චීනය සහ ශ්‍රීි ලංකාව අතර නාවික හමුදා පුහුණු සැසි හුවමාරුවක්ද සිදුවෙමින් පවතින අතර ඒ හරහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු තොරතුරු සහ උපක්‍රමික හැකියාවන් කලාපීය සාගරය තුල ගැටුම්වලදී භාවිතා කිරීම චීනයේ අපේක්ෂාව විය හැකි බවද ඉන්දියාව සඳහන් කරයි.

චීනය විසින් ශ්‍රී ලංකාවට යුධ නැවක් ප්‍රධානය කිරීම ඇමරිකාව දැඩිසේ අවධාරණය යොමු කරන සිදුවීමක් බවට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයද මේ පිළිබඳ අවධානයෙන් පසුවන බව ඉන්දියානු පුවත් වාර්තා කරයි.