වසංගතය රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිලි ගනීද? - වික්ටර් අයිවන්

වසංගතය රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිලි ගනීද? - වික්ටර් අයිවන්

නිදහස ලැබීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මාවත තෝරා ගනිමින් මේ දක්වා එම මාවතේ එක දිගට ගමන් ගත් අසියානු රටවල් දෙක ලෙස සැලකිය හැක්කේ ලංකාව හා ඉන්දියාවය. ඉන්දියාවට නිදහස් අරගලයට නායකත්වය දුන් ඉන්දියානු ජාතික කොංග්‍රසය ආරම්භ කළ මුල් කාලයේ සිටම එයට ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි දැක්මක් තිබුණි. ගාන්ධි කොංග්‍රසයේ නායකත්වය ගැනීමෙන් පසු කොංග්‍රසයේ ප්‍රජාතන්ත්‍රවාදී දැක්මේ ඉතා දියුණු වර්ධනයක් ඇතිවී යයිද කිව හැකිය. කොංග්‍රසය බලවත් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් පෙනී සිටි අතර ඒවා සමාජගත කිරීමෙහිලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකළේ යැයිද කිවහැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයක් නොතිබුණු 1936 තරම් ඈත කාලයේදීත් එයට මානව හිමිකම් සදහා වන දියුණු තමන්ගේම වන ප්‍රඥප්තියක් තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ලංකාවේ නිදහස් ව්‍යාපාරය එවැනි දියුණු තත්ත්වයක තිබුණු ව්‍යාපාරයක් නොවීය. එම ව්‍යාපාරයේ සමහර නායකයින් බටහිර රටවලින් අධ්‍යාපනයක් ලැබූ අය වුවද ඔවුන් දියුණු ලිබරල් දැක්මක් තිබූ අය නොවූහ. ඒ.ඊ ගුණසිංහ හැර නිදහස් ව්‍යාපාරයේ සියලු නායකයින් සර්වජන ඡන්ද බලය ලබාදෙනවාට පවා විරුද්ධ විය.

දෘෂ්ටිමය අර්ථයෙන් ගත් විට ඉන්දියානු නායකයින් සමග ගත් විට ලංකාවේ නායකයින් සිටියේ ඉතාමත් පසුගාමී තත්ත්වයක වුවද එම සීමිතකම තිබියදීත් ලංකාව ගමන් ගත්තේද අඩුපාඩුකම් තිබියදීත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේය. ලංකාව හමුදා කුමන්ත්‍රණ දෙකකට හා සන්න්ද්ධ කැරලි තුනකට මුහුණ දුන්නද ලංකාව ගමන් ගනිමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ වෙනසක් ඇති කිරීමට ඒ කිසිම සංසිද්ධියක් හේතුවූයේ නැත. නිදහසින් පසු ලංකාව බිහිකළ බලවත්ම රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ලෙස සැලකිය හැකි පළමුව ජනාධිපති ජයවර්ධන විසින්ද ඉන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද දීර්ඝකාලීන ඒකපාක්ෂික පාලනයක් ඇති කිරීමට උත්සහා කළද ඔවුන්ට ඔවුන්ගේ සිහින සැබෑකර ගැනීමට හැකිවූයේ නැත.

ඒකාධිපති අපේක්ෂා

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාව වන විට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තිබුණේ ශක්තිමත් තත්ත්වයක නොව හොඳටම ගරා හැලුණු තත්ත්වයකය. ඒ කෙරෙහි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ශක්තිමත් පදනමක පිහිටා ඇති කරගෙන නොතිබීම, ක්‍රමය නිසි ලෙස නඩත්තු නොකිරීම, විටින් විට බලයට පත්වන පාලක පක්ෂ විසින් බලලෝභී අරමුණු වෙනුවෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා විකෘති කිරීම, 1978න් පසුව රාජ්‍යය පාලනය පොදු දේපළ කොල්ලකන ක්‍රමයක් බවට හරවා ගැනීම වැනි සාධක බලපා තිබුණි.

දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුණු විකෘතීන් හා අවලස්සන ස්වභාවය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මහජනයා අතර පැවති විශ්වාසයේද ලොකු බිඳ වැටීමක් ඇති කිරීමට හේතුවී තිබුණි. ඒ සමාජ වටාපිටාව තුළ රටට ආදරේ කරන හිත හොඳ ඒකාධිපති පාලකයෙකු රටට අවශ්‍යයි කියන අදහසක්ද මහජනයා අතර පැතිරයමින් හා සූක්ෂම ලෙස පතුරුවා හරිමින්ද තිබුණි. එම අරමුණට ගැළපෙන හොඳම පුද්ගලයා ලෙස රටට ඍජු ලෙස හා අනියම් ලෙස හඳුන්වාදෙමින් තිබුණේ ගෝඨාභය රාජපක්ෂය. ආරක්ෂක ලේකම් වශයෙන් එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධයේදී හා යුද්ධයෙන් පසු කොළඹ නගරය අලංකාර කිරීමෙහිලා ඔහු ඉටුකරන ලද කාර්යය භාරයද ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගීමෙහිලා යොදා ගනිමින් තිබුණු බවද පෙනෙන්නට තිබුණි.

ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් සිංහල බොදු මනස සකස් කිරීමෙහිලා වසර දෙක තුනක් තරම් කාලයක් තිස්සේම ක්‍රියාත්මක වූ බලවත් ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර එම ව්‍යාපාරය ගෝඨාභයගේ ප්‍රතිරූපය ගොඩනගමින් තිබුණේ දෙමළ හා මුස්ලිම් ග්‍රහණයෙන් සිංහල බොදු ජනතාවත් රටත් ගලවා ගැනීම පිණිස පහළ වූ වීරයා වශයෙනි.

19 අවුල

19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිට තුබූ විධායක බලය අහිමි කොට ජනාධිපති නාමමාත්‍රික ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත් කර තිබූ අවස්ථාවකදී ඒ බව නොසලකා ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට ගැනීම ගෝඨාභය බලයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහනට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් විය.

1978 දී ජනාධිපති කේන්ද්‍ර කරගත් අණ්ඩු ක්‍රමයකට මාරුවන්නට පෙර ලංකාවේ තිබුණේ බි්‍රතන්‍ය ආකෘතියේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ආණ්ඩු ක්‍රමයකි. ඒ කාලයේදී ජනාධිපතිගේ තත්ත්වය බි්‍රතන්‍යයේ ව්‍යස්ථානුකූල රජතුමාගේ තත්ත්වයට සමාන විය. පාලන බලයේ නියම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබුණේ පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන අගමැති මුල්කරගත් කැබිනට් මණ්ඩලයයි.

1978දී ජනාධිපති කේන්ද්‍ර කරගත් ආණ්ඩු කමයක් ඇතිකර ගැනීමත් සමග රාජ්‍යය බලයේදී පාර්ලිමේන්තුවට ලැබෙන වැදගත්කම දෙවැනි වී ජනාධිපතිවරයා රාජ්‍යය බලයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. නැවත ඉන් වසර 37කට පසුව 19 වැනි සංශෝධනය නිසා රාජ්‍යයේ කේන්ද්‍රීය බලය ජනාධිපති වෙතින් ඉවත් කොට ජනාධිපති නාමමාත්‍රික ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත් කොට පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රාජ්‍යය බලයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත් කළේය.

එහෙත් එම සංශෝධනය මගින් නාමමාත්‍රික ජනාධිපති තෝරා පත් කරන ක්‍රමයේ ඊට ගැළපෙන වෙනසක් ඇති කළේ නැත. සාමාන්‍යයෙන් නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගනු ලබන්නේඅගමැතිවරයා විසින් හෝ ඉන්දියාවේ මෙන් චන්ද බල මන්ඩලයක් මගිනි.බලය අහිමි කරනු ලැබූ නාමමාත්‍රික ජනාධිපති තෝරාපත් කරගැනීමට ප්‍රතිපාදන සලසා තිබුණේද විධායක බලය තිබූ ජනාධිපති තෝරා පත්කර ගන්නා ක්‍රමයටමය. එනම් මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වනු ලබන මැතිවරණයකිනි. මෙය බලවත් දෝෂයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

නීතිය හා බලය

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවති මැතිවරණයෙන් සිංහල බොදු ඡන්ද මත පමණක් පදනම් වී කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් විය. නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගත්තේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වනු ලැබූ මැතිවරණයකින් වුවද නීතියෙන් නියම කර තිබුණ බලය අනුව නව ජනාධිපතිවරයාට තිබෙනුයේ විධායක බලයක් තිබූ ජනාධිපතිවරුන්ට තිබුණු බලයට සමාන බලයක් නොව නාමමාත්‍රික බලයකි. එහෙත් නව ජනාධිපතිවරයාට ඡන්දය පාවිච්චි කළ වැඩි පිරිසකට 19 වැනි සංශෝධනය නිසා බලතල විෂයෙහි ඇතිව තිබුණු විපර්යාසය ගැන හරි අවබෝධයක් තිබුණේ නැත. නව ජනාධිපතිවරයාට පරණ ජනාධිපතිවරුන්ට තිබුණු බලයට සමාන බලයක් තිබෙනවා කියා ඔවුන් විශ්වාස කළ බව පෙනේ.

ගෝඨාභය රාජපක්ෂට හා ඔහු බලයට පත් කිරීම සදහා ක්‍රියා කළ දේශපාලන යාන්ත්‍රණය අවශ්‍ය වූයේ රාජ්‍යයේ කේන්ද්‍රීය බලය අල්ලා ගැනීමට නම් ගෝඨාභය තරග කළ යුතුව තිබුණේ නාමමාත්‍රික බලයක් පමණක් තිබෙන ජනාධිපති ධුරය සඳහා නොව 19 වැනි සංශෝධනයෙන් කෙන්ද්‍රීය බලය පවරා තිබූ අගමැති ධුරය සඳහාය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ සේ ම ඔහු බලයට පත් කළ දේශපාලන යාන්ත්‍රණයද උනන්දුවක් දැක්වූයේ රාජ්‍යය බලයේ කේන්ද්‍රිය බලය හිමි තනතුර අල්ලා ගැනීම සඳහා නොව නාමමාත්‍රික බලයක් පමණක් තිබූ තනතුරක් අල්ලා ගැනීම සඳහාය.

එය බලතල විෂයයෙහි ඇතිව තිබූ වෙනස්කම් තේරුම් නොගැනීම නිසා සිදුවුවක් ද නැතිනම් උපායමාර්ග හේතු නිසා හිතාමතා කළ දෙයක්ද යන්න පැහැදිලි නැත. එහෙත් නීතියෙන් නියම කළ බලයක් නැති තනතුරක් අල්ලාගෙන එම තනතුරට නීතියෙන් නියම කළ බලයක් නැතිව නැති බලයක් ආරෝපණය කරගැනීම මගින් බලය ලබාගැනීමේ අරමුණින් කරන ලද්දක් නම් එය සැලකිය හැක්කේ සරල වරදක් ලෙස නොව බරපතළ වරදක් ලෙසය.

කෙළවර කුමක්ද?

කොරෝනා වසංගතය ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇති කර තිබෙන බව හොඳටම පැහැදිලිය. නීතියෙන් නියම නොකළ කල්තියා කිව නොහැකි, අසාමාන්‍ය දේවල් ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකිය. එවැනි අවස්ථාවලදී, එම තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය කරන නීති හා ප්‍රතිපත්ති සෑදීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන නිසාත් පරණ පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිට ඇතත් එසේ නොකරන බව ජනාධිපති ප්‍රකාශ කර තිබෙන නිසාත් මේ ප්‍රශ්නයට විසඳුමක් දීමේ හැකියාව පාර්ලිමේන්තුවට නැත. ජනාධිපතිට නීති සම්පාදන බලයක් නැති නිසා ජනාධිපතිටද ප්‍රශ්නයට විසඳුමක් දිය නොහැකිය. දැන් ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමේ වගකීම පැවරී ඇත්තේ අධිකරණයටය.

අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යාමේ හැකියාව මැතිවරණ කොමිසමටද තිබුණි. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට මගපෙන්වීම් ලබාදෙන ඉතා වැදගත් අධිකරණ තීන්දුවක් ද තිබුණි. කොමිසම එම වගකීම අවිධිමත් ලෙස ජනාධිපති මත පටවා අධිකරණය ඉදිරියට යාමෙන් වැළකී සිටියේය. ජනාධිපතිවරයාද කොමිසමේ මගපෙන්වීම අනුව අධිකරණයට ගියේ නැත. පරණ පාර්ලිමේන්තුවද නැවත කැඳවීමෙන් වැළකී සිටියේය. විරුද්ධ පක්ෂද අධිකරණය ඉදිරියට යාමට උනන්දුවක් දැක්වූයේ නැත.

අවසානයේ ප්‍රශ්නය අධිකරණය ඉදිරියට යනු ඇත. ඒ සමග අධිකරණය තියුණු උරගා බැලීමකට ලක්වනු ඇත. එය ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හා සාධාරණත්වය තියුණු උරගා බැලීමකට ලක් කෙරෙන අවස්ථාවක් වනු ඇත. සියලු පාර්ශ්වවලට පිළිගත හැකි නීතියට අනුකූල සාධාරණ හා ප්‍රායෝගික විසඳුමක් සොයා ගැනීමට නොහැකි වෙතොත් ලංකාව වසංගත තත්ත්වයක් තුළ අරාජකත්වයකට ගිය රටක් ලෙස ඉතිහාසයට එකතුවනු ඇත.

(රාවය පුවත්පත)

තවත් පුවත්