පරදින්නේ සජිත් ද? ගෝඨාභය ද?

පරදින්නේ සජිත් ද? ගෝඨාභය ද?

ජනාධිපතිවරණයට හරියටම ඇත්තේ තව දවස් 5 කි.  2015 ජනාධිපතිවරණයෙන් එවකට ජනපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වී ඔහුගේම කණ්ඩායම නියෝජනය කරමින් සිට අවසාන මොහොතේ පිම්මක් පැන්න මෛත්‍රීපාල සිරිසේන ජයගත්තේ මෑත ඉතිහාසයේ දේශපාලනයේ අවිනිශ්චිතතාවය කොතරම්ද යන්න පෙන්වමින්ය. ඒ නිසා ලංකාවේ අනෙකුත් මැතිවරණ වලට වඩා ජනාධිපතිවරණය යනු අවසන් මොහොත වනතෙක් නියපොතු කමින් බලාසිටිය යුතු එකක්වනවාට සැකයක් නැත.

ප්‍රචාරණ යාන්ත්‍රණයෙන් සහ ඒ සඳහා වියදම් කළ කෝටි ගණනක මුදලින් මෙන්ම රිසිසේ කතාකරන පාක්ෂිකයන්ගෙන් පෙනෙන්නට ඇත්තේ ගෝඨාභය ජයගන්නා බවය. ඒත් කතා කරන පිරිසට වඩා කතා නොකරන තම මතය කතිරයෙන් පමණක් සටහන් කරන පිරිස වැඩි නිසා ‘හඬ අනුව’ ජයග්‍රාහකයා තීරණය කිරීම ගොන් කමකි. එයට සරලම උදාහරණ වන්නේ 2015 සහ 2010 ජනාධිපතිවරණයි. පාක්ෂිකයන් කෑගැසූ තරමට ඡන්ද ලැබුණානම් 2010 ජනාධිපතිවන්නේ ෆොන්සේකාය, 2015 දිනන්නේ මහින්දය.

තවද මාධ්‍ය යාන්ත්‍රණයේ හැසිරීමද සලකා බැලිය යුතුය. රාජ්‍ය මාධ්‍යවලට මැතිවරණ කොමිසමේ බලපෑම නිසා සමබරව පුවත් සහ තොරතුරු විකාශය කරනවා මිස බලය පවතින ආණ්ඩුවේ අපේක්ෂකයා වන සජිත්ට වැඩිපුර බෙදන්නට ඉඩක් ලැබී නැත. ඊට අමතරව සජිත් වෙනුවෙන් සාපේක්ෂකව වැඩිබරක් තබා ඇත්තේ සිරස පමණි. නමුත් ගෝඨාභය රාජපක්ෂට සහය දෙන්නට දෙරණ,හිරු පමණක් නොව ටී.එන්.එල් ද යමරෙට වැඩය.

මාධ්‍යයට ජනාධිපතිවරු බිහිකල නොහැකිය. හිරු හෝ දෙරණ බලන සජිත්ට ඡන්දය දෙන උදවිය මෙන්ම සිරස බලන ගෝඨාට ඡන්දය දෙන උදවියද එමටය. ඒ නිසා මිනිස්සු ටී.වී වල මැතිවරණ ආතල් බලා ‘ෆන් එකක්’ ගන්නවා මිසක සීරියස් ගන්නේ නැත. ඒ කියන්නේ මිනිස්සු දැන් ටිකක් දියුණුය. අනිත් අතට මින් පෙර දශකයේ සමාජ මාධ්‍ය හරහා රටේ පාලනය වෙනස්කිරීමට හැකියාව තිබුණද එයත් දැන් අඩපණව ඇත්තේ සමාජ මාධ්‍ය විප්ලවයන්ගෙන් බිහිවුණු පාලනයන් සාර්ථක නොවූ නිසාය. ඒ නිසා මාධ්‍යයට නායකයන් දිනවිය නොහැකිය.

ජනතාව සන්තකයේ පූර්ණය බලය ඇති නිසා මෙරට මිලියන 13කට වැඩි පිරිසක් 16 වැනිදා ඡන්දය භාවිතා කරාවියැයි අපේක්ෂාකල හැකිය. ඒ අනුව ජනාධිපති වන්නට නම් ඡන්ද ලක්ෂ 65 ඉක්මවිය යුතුය. 2015 මහ මැතිවරණයේ එ.ජා..ප ය තනිව ඡන්ද ලක්ෂ 50 කට ආසන්න ප්‍රමාණයක් ලබාගත්තද 2018 පළාත් පාලන මැතිවරණයේදී එයින් ලක්ෂ 10කට වඩා ඡන්ද දායකයින් දුර්මුඛව පසුබසින්නේ එ.ජා.ප යේ නායකත්වය සහ ආණ්ඩුවේ භූමිකාව සමග ඇතිවුණු කළකිරීම් නිසාය. බොහෝවිට ඔවුන් ඡන්දය වෙනත් පක්ෂයකට දුන්නා සේම  ඡන්ද බාවිතා කිරීමෙන් වැලකී සිටීම දක්නට ලැබුණි. 2015මහමැතිවරනයේදී ප්‍රකාශිත ඡන් ප්‍රමාන්‍ය මිලියන 12 ක් විය. එහෙත් 2018 පළාත් පාලන මැතිවරණයේදී ඒ ප්‍රමාණය මිලියන 11ට බැස තිබුණි. එහිදී වසර තුනක් ඇතුලත එක්වූ මිලියනයකට ආසන්න නව ඡන්ද ප්‍රමාණයද සලකා බැලූ විට පළාත් පාලන ඡන්දයට මිලියන 2කට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී ඇති බව පැහැදිලිය.

2018 පළාත් පාලන ඡන්දය යනු පොදුජන පෙරමුණේ ඉහළම තැන බවට සැකයක් නැත. ගම්වල යූ.ඇන්.පී කාරයන් පවා රනිල් එක්ක තරහට පොදුජන පෙරමුණට ඡන්දය දීම හෝ ඡන්දය දීමෙන් වැලකීම නිසා පොදුජන පෙරමුණ මිලියන 4.9කට ආසන්න ඡන්ද ප්‍රමානයක් වාර්තා කරනු ලැබීය. එසේමනිදහස් පක්සය සහ සන්ධානය ඡන්ද මිලිය 1.5 කට ආසන්න ප්‍රමාණයක් ලබාගත් නිසා මෙවර ගෝඨාට මිලිය 6.5ක් ලැබේවි කියා ජයපැන් බීමට හැකිද යන්න ගැටළුවකි.

පොදුජන පෙරමුණේ ඡන්ද ගොඩෙන් ඉවත්වන කොටසක් ඇත, එසේම නිදහස් පක්ෂ ඡන්ද ගොඩෙන්ද ඉවත්වන ගොටසක් ඇත. ඒ නිසා ගෝඨාභයට මිලියන 6ට ලංවන්නට ලේසි පහසු නැත. එසේම මිලියන 4කට වැඩි එ.ජා.ප ඡන්ද පදනම මෙරව සජිත්ට නොලැබේවි යැයි කියන්න සාධකයක් නැත. ඒ මන්දයත් එ.ජා.ප යේ බහුතරයක් කාලයක සිට ඉල්ලා සිටියේ ජයගත හැකි එ.ජා.ප අපේක්ෂකයෙක් සහ රනිල් වෙනුවට විකල්පයක් ය. සජිත් හරහා ඒ දෙකම ලැබී ඇති නිසා සජිත්ට මිලියන 4ක ඡන්ද තැන්පතුවක් සහතික විය හැකිය. ඊට අමතරව සජිත්ට සහය දක්වන අනෙකුත් පක්ෂවල ඡන්ද පදනම මිලියන 2කට ආසන්නය. ඒ නිසා සජිත්ටද මිලියන 6 ඉක්මවීම හිතන තරම් ලේසි නැත.

එයට හේතුව වන්නේ අනෙකුත් අපේක්ෂකයන් 33දෙනා අතරින් අනුර කුමාර දිසානායක ඡන්ද මිලියන 0.5 ක් සහ මහේෂ් සේනානායක ඡන්ද මිලියන 0.2ක් ලබාගත්තද සෙසු අපේක්ෂකයන් සහිතව මේ සියලු දෙනා ඡන්ද මිලියනයකට ආසන්න ප්‍රමානයක් ලබාගතහොත් නිසැකවම දෙවැනි මනාපයට යන්නට සිදුවනු ඇත.

එසේ වුවහොත් අනුර කුමාරට සහ මහේෂ් සේනානායකට ඡන්දය ලබාදුන් පාක්ෂිකයන්ගේ දෙවැනි මනාපය ගෝඨාභයට ලැබෙන්නට ඇති ඉඩකඩ ඉතා අඩුය. නමුත් හිස්බුල්ලාගේ දෙවනි මනාපය නම් ගෝඨාභයට ස්ථීරය. එයින් පෙනෙන්නට ඇත්තේ දෙවනි මනාපය ගණනය කරන තැනට ගියොත් වඩා වාසිය ඇත්තේ සජිත් ප්‍රේමදාසට බවය. ඒ නිසා ගෝඨාභයට පළමු ගණනයේදීම 50% ඉක්මවීමට සිදුවණු ඇත එනම් සජිත්ට අවස්ථා දෙකක් තිබුණද ගෝඨාභයට ඇත්තේ එක් අවස්ථාවක් පමණි. නිසැකවම ජයග්‍රහණය ගැන අධිතක්සේරුවෙන් වුවත් හිස හැරුණු අතේ රාජපක්ෂවාදීන් දිවයන්නේ මෙන්න මේ කාරණය දැනගෙන බවට සැකයක් නැත.

නමුත් අවසාන මොහොත දක්වා ප්‍රතිඵලය නිවැරදිවම කියන්නට තරම් අපගේ පුරෝකථන ශක්තිය හෝ ඇති තොරතුරු ප්‍රමාණය ප්‍රමාණවත් නොවේය. ඒ නිසා 17 උදෑසන සැබෑවටම පරාජයට පත්ව ඇත්තේ කිනම් අපේක්ෂකයාද කියා දැනගත හැකිය.